පානම වැවේ සුවහසක් සුදු නෙළුම් පිපේ. කිලෝමීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් උපදින සුළඟ පානම වැවේ හැපී දෙපස ඇති මහා වනපෙතට රිංගා ගන්නේ තුරු අතු පතරෙහි ආදරය ලියමිනි. මේ ලස්සන නෙළුම් මල් බලන්නට යනවා නම්, පානම දක්වාම ඇත්තේ කාපට් ඇතිරූ අපූරු පාරකි. එහෙත් 1983 දී ගුරුපත්වීමක් ලැබූ මහින්ද චන්ද්‍රසේකර, පානමට යනවිට එබඳු පාරක් තිබුණේ නැත. වළවල් පිරුණු දුෂ්කර මාර්ගයක් දිගේ පානමට ගිය ඔහුට හතර පැත්තෙන්ම ඇහුණේ වෙඩි හඬය. පානම වැවේ සුදු නෙළුම් පිපුනත් ඒ මල් පවා, අර වෙඩි හඬට බයෙන් පෙති අඩක් හකුලූවාගෙන උන්නාය. ඒ නෙළුම් මල් සදිසි දරු පැටවුන් සිටියේ ද බයෙන් භීරාන්තවය. ඔවුනතර සිංහල සරෝජලා ද, දෙමළ සරෝජලා ද, මුස්ලිම් ෆාතිමාලා ද උන්හ. පානම වැවේ පිපුණු නෙළුම් මල් සේම එක පංතියේ එකට අකුරු කළ මේ සරෝජලාත් ෆාතිමාලාත් අතර විරසකයක් නොවුණ ද ජාතිවාදී කණ්ඩායම් යුද්ධයක් නිර්මාණය කර සිංහල දෙමළ යනුවෙන් මිනිස්කම දෙකඩ කර තිබිණි. ඊ.පී.ආර්.එල්.එෆ්. ඊරෝස් වැනි කණ්ඩායම් පැමිණ දෙමළ ළමයින් පැහැර ගෙන ඔවුන්ගේ මිනීමරු ත‍්‍රස්තවාදය වෙනුවෙන් යුද්ධයට යොමුකර සිංහල දරුවෝ මරා දැමූහ. මේ නිසා ඇතැම් දුවාදරුවෝ පාසල් ගමන් නතර කර දමා ගමෙන් බැහැර පිහිටි මහා මන්දිරවල බැල මෙහෙවරකම් කරන්නට නික්ම ගියහ. ගුරුවරුනට සිදුවූයේ මේ සියල්ල දෙස බලමින්, අසාධාරණයට අයුක්තියට හිස නමමින් නිහඬව කම්පා වන්නටය. තවදුරටත් පානම මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන්නට බැරි නිසා මහින්ද චන්ද්‍රසේකර අම්පාරේ සිංහලයන් වැඩි පෙදෙසක පාසලකට මාරුවීමක් රැගෙන ගියේය. තවත් කළකට පසුව ගල්නෑව මැදි මහ විදුහලට ගියත්, පානම දී දුටු යුද්ධයට බියෙන් සිටි පුංචි සරෝජලා ඔහුගේ හිත නිරන්තරයෙන්ම කම්පාවට පත් කළේය.
දීපිකාගේ ‘සරෝජා’ට ජාත්‍යන්තර සාම ත්‍යාගය |
මන්දිරේ දොර නුඹව කැඳවයි බේබිලා හඬනා හඬින් මායිමේ වැට අඬගසයි හෙට අවි දරා රකිනා ලෙසින් දමා ගොදුරට කෙලෙස යන්නද ඒත් යන්නට වෙයි ඉතින් වරක් දැක හිත නිවාගන්නට දුවේ ඩිංගක් හිනැහියන්... මහින්ද චන්ද්‍රසේකර කවියකු බැවින් ඔහු සිතුවේ මේ නිර්මාණය කවියක් බවය. ඉතින් ඔහු මේ කවිය පසෙක තබා මොහොතකට හිත නිදහස් කර ගත්තේය. මහින්ද මේ වනවිට සේවය කළේ ගල්නෑව විදුහලේය. වත්මන් උතුරුමැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ එවකද මහින්දගේ කල්‍යාණ මිත‍්‍රයෙකි. ඔහු තම මිතුරාගේ දුක සැප බලන්නට ගල්නෑවට පැමිණි විටෙක මහින්ද තම අලූත් නිර්මාණය ඔහුට පෙන්නුවේය. මේක හොඳ සිංදුවක්නේ. නිර්මාණය කියවූ දිවුල්ගනේ කීවේය. ‘‘සිංදුවක් ද? එහෙම නම් දීපිකා වගේ කෙනෙක් කිව්වොත් හොඳවෙයි.’’ ඔව්. මම දීපිකාට දෙන්නම්. එයාගෙ හඬ තමා මේ ගීතයට හොඳ. දීපිකා ළඟට මෙන්ම ආචාර්ය රෝහණ වීරසිංහ ළඟට ද මේ ගීපද වැල රැගෙන ගියේ දිවුල්ගනේමය. ගීතය නිර්මාණය කිරීමේ කටයුත්ත රෝහණ බාරගත්තේය. ගීතයට වචන වැඩිය. හොඳ සංගීත නිර්මාණයක් බිහිකිරීමට නම් මෙහි වචන අඩු කළ යුතුය. සිංදුවේ වචන අඩුකර දෙන ලෙස රෝහණත් තවත් වරෙක දීපිකාත් මහින්දට කීහ. බැරිම තැන මහින්ද, මෙහි වචන අඩුකර අලූතින් ගීතය ලීවේය. එහෙත් එවිට අර කලින් ගීතයේ තිබූ අපූර්වත්වය ගිලිහී ගියේය. හොඳම ගීතය කලින් එකමය. මං ඔයාට වෙන ගීතයක් දෙන්නම් මහින්ද දීපිකාට කීවේය. බෑ... බෑ... මට ඕනෙ අර සිංදුවමයි. කොහොම හරි ඒකම හදල දෙන්න. දීපිකා කීවාය. ඒ සිංදුව නම් කොහොමටවත් ආයෙ හදන්න බෑ. මහින්ද කීවේය. දැන් ඉතිං? සියලූ අභියෝගය ඇත්තේ සංගීත නිර්මාණ ශිල්පියා සතුවය. රෝහණ, අභියෝගයට මුහුණ දුන්නේය. එකක් දෙකක් නොව ”මෙලඩි” පහක්ම හැදු ඔහු අවසානයේ හොඳම මෙලඩියක් ඇති විශිෂ්ට ගීතයක් නිර්මාණය කළේය. විශාරද දීපිකා ප‍්‍රියදර්ශනී ගේ සරෝජා ගීත එකතුවට නම වැටුණේ ද මේ ගීතය ඔස්සේමය. එදා මෙදා තුර හැමදාමත් රසික සවන්, සිත් සතන් කම්පාවට පත් කළ සරෝජා ගීතය ජාත්‍යන්තර සාම ත්‍යාගය සඳහා ද නිර්දේශවී තිබේ. ගුෂි ජාත්‍යන්තර සාම සම්මාන උළෙල නොවැම්බර් 28 දා පිලිපීනයේ මැනිලා නුවර දී පැවැත්වෙයි. එහිදී විශාරද දීපිකා ප‍්‍රියදර්ශනී සරෝජා ගීතය ගයා සම්මානය ද ලබාගනු ඇත. එය අපටද සතුටකි! රටට ආඩම්බරයකි!
සටහන - ශාන්ත කුමාර විතාන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම තේරුමක් ඇති සිංදුවක්. (නි)
අතිවිශිෂ්ඨයි (ස)
ඇත්තටම මෙවන් විශිෂ්ට නිර්මාණ තව තවත් බිහිවිය යුතුයි. (නි)
අපි දැන් නිදහස්
මේ වගේ ගීත රචකයෝ අද හරි අඩුයි. අනුන්ගේ ගීත කොපිකරන එකමයි කරන්නේ. (නි)
දීපිකා මහත්මියගේ මේ ගීතය අපේ හදවත් වලට සමීප වුණා. (ස)
ඇත්තටම හොදයි. හොද සිංදුවක්. (නි)
මහින්ද සර් තමයි අපේ ඉස්කෝලේ පාසල් ගීය ලියලා තියෙන්නේ. (අම්/දෙහි/බඔරවාන විද්‍යාලය) සර්ට හදවතින්ම සුභපතනවා . (ස)
ඉතාමත් කාලෝචිත කායයක ගැයුණු කාලෝචිත ගීතයක්.. සම්මාන හිමි විය යුතුව තිබුණෙ මීට කලිනුයි. සුභ පතනවා.. ඔබල තුන්දෙනාටම..!(නු)
නියමයි දීපිකා. අපි බලාපොරොත්තු වුණේ මේ දේ මීට කලිනුයි. (නි)
යුද්ධය යලිත් එපා
හොඳ සින්දුවක් (අ)
නියමයි..දීපිකා අක්කා සම්මානය ගන්නවා බලන්න මාත් එනවා එදාට (ස)
මේ සිංදුව ගැන නැවන නැවත කියන්න දෙයක් නැහැ. (නි)
ගැස්සෙන්න වෙඩි පත්තු කළේ අපිද? (නි)
මඩු පල්ලියෙන් ගිනි සිඹින්නෙ නැහැ (නි)
"සරෝජා මගෙ දෝණියේ" (නි)
ජාති වාදීන්ට හොඳ පිළිතුරක්.සන්තෝසයි (ස)
හදවතට තට්ටුකර ගීතයක් (ස)
ඔව් ඉතාම හොඳ ගීතයක් (ස)
ලස්සනයි! (නි)