(අංජුල මහික වීරරත්න)

ලෝක ගැටුම් ඇතිවන මේ මොහොතේ මුළු ලොවම බුදු දහමේ හරය නැවත මෙනෙහි කර ගැනීම වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ  60 වන සංවත්සරය උත්සවය අමතමින් අද පැවසීය.

​“ලෝක බෞද්ධ සංඝ සම්මේලනය 60 වන සංවත්සරය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  සහභාගීත්වයෙන් කැලණිය නාගානන්ද අන්තර්ජාතික විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී අද (28) ආරම්භ විය.

 ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ  60වෙනි සංවත්සර සමරු උලෙළෙ  ථේරවාද, මහායාන සහ වජ්‍රයාන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ඇරැඹිණි.

මෙම සංඝ සම්මේලනය සඳහා ගිහි නියෝජිතයෝ 800කට ආසන්න පිරිසක් ද සහභාගී වෙති.

එසේම, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය ද මීට සහභාගී වී සිටිති.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම සංවත්සර සමරු උලෙළ දෙසැම්බර් 02වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

සංවත්සරය ආරම්භක උත්සවයේ අදහස් දක්වමින් ජනාධිපති අනුර දිසානායක මහතා මෙසේද කීය.

"ලෝකයේ විවිධ ගැටුම් කැළඹිලි තිබෙන අවස්ථාවක මෙම ලෝක බෞද්ධ සංඝ සම්මේලනය පවත්වනු ලබනවා.මේ මොහොතේ බුදු දහම කෙරෙහි නැවත මෙනෙහි කර ගැනීම වැදගත්.

මනුෂ්‍ය වර්ගයාගේ චින්තන ඉතිහාසයේ දැවැන්ත පරිවර්තනයකට ලක් කළ අපේ ශිෂ්ටාචාරයේ පදනම සකස් කළ ඒ මහා දර්ශනය කෝටි එකහමාරක් පමණ වන මහායාන ථෙරවාද සහ වජ්‍රයාන පිරිසට පමණක් අයිති වන දහමක් නොවේ.එය සමස්ත ලෝකයටම අයිති සනාතන දහමක්"