(මනෝප්‍රිය ගුණසේකර)

බම්බලපිටිය ‘මැරීනෝ බීච්’ හෝටලය පිහිටි ඉඩම දම්රෝ සමාගමට විකිණීමේදී රුපියල් බිලියනයක පමණ මුදලකට අදාළව සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියකට අදාළව කටුනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බි්‍රතාන්‍ය ජාතිකයකු පෙර ඇප මත මුදාහැරීමට නියම කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඔක්තෝම්බර් 21 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට නියම කළේය.

සැකකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇතැයි දැනුම් දෙමින් රහස් පොලිසිය කළ දැනුම් දීමක් සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

කොළඹ මහාධිකරණයේ නඩුව කැඳවන ලබන මස 21 වැනිදා එහි පෙනී සිටින ලෙස නියම කරමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කරන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයකු වන කදිරවේලුපිල්ලෙයි සත්කුනම් මහතාටය.

මීට වසර 16කට පෙර 2010 වසරේදී බම්බලපිටිය ‘මැරීනෝ බීච්’ හෝටලය පිහිටි ඉඩම ‘දම්රෝ’ සමාගමට විකිණීමේදී සැකකරු රුපියල් බිලියනයක පමණ මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකළ බව පවසමින් ‘ඇක්සෙස් ඩිරෙක්ට්’ නමැති (බ්‍රිතාන්‍ය) පුද්ගලික සමාගමේ කොටස් හිමකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණී.

රහස් පොලිස් නිලධාරීන් ඒ පිළිබඳ කරුණු අධිකරණයට දැනුම් දෙමින් මීට පෙර අවස්ථාවක අධිකරණයේ පෙනී සිටීමේ කොන්දේසිය මත සැකකරුට ඇප නියම කර තිබු බවත් එසේ තිබියදී විදේශගතව සිටි සැකකරු නියමිත අන්දමින් අධිකරණයේ පෙනී නොසීටීම හේතූවෙන් විදේශ ගමන් තහනමක් පනවා තිබු බව දැනුම් දුන්නේය.