ගෙන්වූ වාහන අතර රුපියල් මිලියන 70 ට ආසන්න වූ වාහනත්


ෆෙරාරි, රෝල්ස් රොයිස් , පෝෂ් සහ ලැම්බෝගිනි වාහනත් ඒ අතර


සමස්ත වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 281 ක්


විමුක්ති එස් රුද්‍රිගු


වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒවා බවත් ජේ.බී සිකියුරිටීස් තැරැව්කාර සමාගම පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
එලෙස ගෙන්වූ වාහන අතර රුපියල් මිලියන 70 ට ආසන්න වූ වාහනද තිබෙන බවත් ඒවා මිලදී ගත් පාරිභෝගිකයන් රජයේ ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ. එලෙස ගෙන්වූ වාහන අතර ෆෙරාරි, රෝල්ස් රොයිස් , පෝෂ් සහ ලැම්බෝගිනි වාහනද තිබෙන බව එම වාර්තාව පෙන්වා දුන්නේය.
පසුගිය නොවැම්බර් මාසයේදී පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව සමස්ත වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 281 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ. ඒ අනුව පසුගිය වසරේ පළමු මාස 11දී මෙරට වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74 කි.