GEE-VINISA_11_11

ඔබේ නමින් සෑය බඳිමි

විමානයෙන් බසිනු මැනවි

ස්වර්ණමාලියේ රූබර

ස්වර්ණ මාලියේ.........

 

උනා  නීලවර්ණ වරල

දෑසේ මල් ගැවසි ලියේ

නඟා ඉන්ද්‍රචාප දෙබැම

ඇසින් විදුලි මවන ලියේ

වනා ළමැද කිණිහිරි පෙති

රත්න තිලක පැළැඳි  ලියේ

සිනා සීසී  විමානයෙන් 

බසින්න ස්වර්ණමාලියේ.......

 

 

 

අතේ ගිගිරි  නාද සලඹ

නුරා හඬින් හඬන ලියේ

කරේ පද්ම කැකුළු මාල

හංස තුඩින් තැළෙන ලියේ

කනේ තෝඩු මිණි ගන රන්

මුහුණ ඔපය කරන ලියේ

පමා නොවී විමානයෙන්

බසින්න ස්වර්ණමාලියේ.....

 

බාල චන්ද්‍ර පටු  නළලත

අලක අඳුන් අඳින ලියේ

දෑල දෑත ස්වර්ණ දාම

තාල හඬට  සැලෙන ලියේ

කෝල නොවී  විමානයෙන්

බසින්න ස්වර්ණමාලියේ......

 

ගායනය - පණ්ඩිත් අමරදේව

සංගීතය - පණ්ඩිත් අමරදේව

ගී පද - මහගම සේකර

 

ගීතයක් රමණිය වීමට  නම්  ඊට  සැබෑ  කවියකුගේ  ගී පද රචනාවක්  පාදක විය යුතු බවට  මේ ගීතය ද නිදසුනකි. මහගම සේකරගේ සුදුර්ලභ අව්‍යාජ කවි  ශක්තියෙන් අනුන මේ ගීතයෙන්  වර්ණීත වන්නේ ස්වර්ණමාලියගේ  රූප සෞන්දර්යයි. මෙහි එන ස්වර්ණමාලිය කවරක්ද ? එකල දුටුගැමුණු මහරජු  විසින්  අනුරපුරයේ  කරවන ලද මහ සෑය “ස්වර්ණමාලි මහා චෛත්‍යය” යනුවෙන් හැදින්වේ. මේ චෛත්‍යය  ඉදිකිරිමට  පෙර  එම ස්ථානයට  රන්තෙලඹූ වෘක්ෂයක්  වු බව ද ස්වර්ණමාලි නම්  දිව්‍යාංගනාවක එය තම විමානය කොටගෙන විසු බවද දුටුගැමුණූ රජු ඇයට  යාච්ඥා කොට  චෛත්‍යයට  ඇගේ  නම තබන පොරොන්දුව පිට  ඇයට  එය හැර යන්නට  සලස්වා  එහි සෑය කළ බව ද ජනප්‍රවාදයේ අසන්නට  ලැබේ. මහගම සේකරයන් මේ  ගීතය රචනා  කොට  ඇත්තේ  එකී  ජනප්‍රවාදය  අනුයමිනි. මේ  ලිය වු  කලී  එසේ  මෙසේ ලියක නොව රූප සෞන්දර්යෙන් කෙළ පැමිණි දිව්‍යාංගනාවකි. චිරාගත ස්ත්‍රී වර්ණනාවල එන ලක්ෂණ ම ඉතා  බුහුටි  ආකාරයෙන්  පෙළ ගස්වන කවියා  මේ ගී මීණෙන්  ස්ත්‍රී  රූපයෙහි  සුකුමාර  බව ස්පර්ශ  කරයි.

දුටුගැමුණූ  රජු  ස්වර්ණමාලි  දෙවඟනට  කරන ආයාචනය ගීතයට විෂය වුවද ගීතයේ  ස්ථායි  කොටස හැර  පළමු  අන්තරා  කොටසෙහි  සිට එකිනෙකට  පෙළ ගැසෙන්නේ  ලිය වැනුමකි.

 

උනා නීලවර්ණ වරල

දෑසේ මල් ගැවසී ලියේ 

නඟා  ඉන්ද්‍රචාප දෙබැම

ඇසින් විදුලි  මවන ලියේ

 

ඇගේ  උනාලු වරල නීලවර්ණය. මලින් සැරසුණු ඇහි  දෙබැම දෙව්දුනු  සදිසි ය. ඇගේ  ළමැද වසා  කිණිහිරි පෙති  ගවසා  ඇත. නළලත මැණීකක වර්ණය රැගත්  තිලකයකි. ඇගේ  දෑතෙහි  ගිගිරි වළලු ද පාදයන්හි  කුඩාමිණී ගෙඩි ද පැළඳ ඇත. කර  පැළඳ තිබෙන්නේ  පියුම් පොහොට්ටු මාලයකි. ස්වර්ණමාලියගේ රූ සිරු  වරුණ කියන්නට  කවියා  විසින්  යොදා ගෙන ඇති  උපමා  රූපක මාලාව ඇසෙන  කල්හි  අපේ  මතකයට  යමක්   නැඟෙයි. එනම්  අප බොහෝ ස්ත්‍රී වර්ණනාවල මෙබඳු  උපමා  රූපක දැක හා අසා  ඇති බවයි. මේ  ගීතය ගතානුගතික නීරස ලිය වැනුමක්  ලෙස අපට ඉවත හළ හැකිද? කොහෙත්ම බැරිය. ඊට හේතුව නම් මේ  උපමා  රූපක අපුරු  වු  නැවුම්  ආකාරයට  සංකලනය කර  තිබීමයි.

පැරැණි  යෙදුම්  වුව නව රසයක්  නිමැවුම්  කිරිම සඳහා  නවතම විලාසයකින්  ඉදිරිපත්  කිරිමට  කවියා   සමත් වී  තිබේ. මෙනයින් මේ ගී  මිණ පුරා දිවෙන උපමා  රූපක පෙළෙන්  නැවුම්  බවක් උද්වහනය කරයි. චිරාගත උපමා  රූපක පවා  කවියා  විප්ලවීයකරණය කරන හැටි  බලන්න.

 

අතේ  ගිගිරි නාද සලඹ

නුරා හඩින්  හඬන ලියේ

කරේ පද්ම කුකුළු මාල

හංස තුඩින් තැළෙන ලියේ

 

ඇගේ  දෑත්හි  ගිගිරි වළලු  සලඹ නද දෙන කල්හි  එය නුරා  හඬින්  ඇය කරන හැඬීමක්  බඳුය. මෙය කෙතරම්  රමණිය කාව්‍යෝක්තියක් ද ? කාමසම්භෝග ඉල්ලා  නඟන රාවයක්  මින්  නො ඇසේ ද? පියයුරු හංසයන්ට  උපමා  කිරිම ද සාහිත්‍යයෙහි ඉතා ගතානුගතිකය. එය බොහෝ කවි  ගීත වලින්  අපි  අසා  දැක ඇත්තෙමු. එහෙත් හංස තුඩින් පද්ම කැකුළු තැ ළෙන බව අඟවමින්  කවියා  අපට  පවසන්නේ  ස්වර්ණමාලියගේ හංස තුඩුවල තද බව නො වේ ද?

 

බාලචන්ද්‍ර පටු  නළලත‍

අලක අඳුන්  අඳින ලියේ

ආල වඩන දන්ත කැකුළු

කුන්ද සමන්  පිපෙන ලියේ

දැල දෑත ස්වර්ණ දාම

තාල හඬට සැලෙන ලියේ

 

බාල චන්ද්‍රයා යනු  අඬ සඳය. පටු නළල් තලය තරුණ  චන්ද්‍ර මණ්ඩලය සදිසිය. එහි  අඳුන්  ආලේප කොට  ඇති බවත්  නළල් තලයෙන්  කැරලි  ගැසුණු  කෙස් රොදවල්  ලිහි  වැටෙන බවත්  කවියා  කියයි. ඇගේ  දසන්  පෙළ කොඳ හෝ සමන්  කැකුළු සදිසිය. දෑලෙහි  රන්දම් ලඹ දෙන විට ඇගේ  සිනාවෙන් ගලා  හැළෙන සුධාධවල වර්ණ කාන්තියක්  එය මඳ සිනාවක්  බවත්  සිහි ගැන්වේ. දන්ත කැකුළු යන්නම රමණිය යෙදුමකි.එයට  ආලවඩන යන්න එකතු වු විට  අතිරමණිය වේ. මහගම සේකරයන් සතුව පැවැති සුදුර්ලභ කවි  ප්‍රතිභාව මේ ගීතයේ  ගී පද සංකලනයට  ආවිෂ්ට  වී  තිබිමත් පණ්ඩිත් අමරදේවයන්ගේ  සුගායනීය හඬ මුසුවීමත්  මේ ගී  මිණිරුවන ශෘංගාර රස පිරි  මී  විතක් සේ  රමණිය වීමට  හේතුභූත වී  තිබේ.