ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ රූබර
ස්වර්ණ මාලියේ.........
උනා නීලවර්ණ වරල
දෑසේ මල් ගැවසි ලියේ
නඟා ඉන්ද්‍රචාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
වනා ළමැද කිණිහිරි පෙති
රත්න තිලක පැළැඳි ලියේ
සිනා සීසී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ.......
අතේ ගිගිරි නාද සලඹ
නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල
හංස තුඩින් තැළෙන ලියේ
කනේ තෝඩු මිණි ගන රන්
මුහුණ ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ.....
බාල චන්ද්‍ර පටු නළලත
අලක අඳුන් අඳින ලියේ
දෑල දෑත ස්වර්ණ දාම
තාල හඬට සැලෙන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ......
ගායනය - පණ්ඩිත් අමරදේව
සංගීතය - පණ්ඩිත් අමරදේව
ගී පද - මහගම සේකර
ගීතයක් රමණිය වීමට නම් ඊට සැබෑ කවියකුගේ ගී පද රචනාවක් පාදක විය යුතු බවට මේ ගීතය ද නිදසුනකි. මහගම සේකරගේ සුදුර්ලභ අව්‍යාජ කවි ශක්තියෙන් අනුන මේ ගීතයෙන් වර්ණීත වන්නේ ස්වර්ණමාලියගේ රූප සෞන්දර්යයි. මෙහි එන ස්වර්ණමාලිය කවරක්ද ? එකල දුටුගැමුණු මහරජු විසින් අනුරපුරයේ කරවන ලද මහ සෑය “ස්වර්ණමාලි මහා චෛත්‍යය” යනුවෙන් හැදින්වේ. මේ චෛත්‍යය ඉදිකිරිමට පෙර එම ස්ථානයට රන්තෙලඹූ වෘක්ෂයක් වු බව ද ස්වර්ණමාලි නම් දිව්‍යාංගනාවක එය තම විමානය කොටගෙන විසු බවද දුටුගැමුණූ රජු ඇයට යාච්ඥා කොට චෛත්‍යයට ඇගේ නම තබන පොරොන්දුව පිට ඇයට එය හැර යන්නට සලස්වා එහි සෑය කළ බව ද ජනප්‍රවාදයේ අසන්නට ලැබේ. මහගම සේකරයන් මේ ගීතය රචනා කොට ඇත්තේ එකී ජනප්‍රවාදය අනුයමිනි. මේ ලිය වු කලී එසේ මෙසේ ලියක නොව රූප සෞන්දර්යෙන් කෙළ පැමිණි දිව්‍යාංගනාවකි. චිරාගත ස්ත්‍රී වර්ණනාවල එන ලක්ෂණ ම ඉතා බුහුටි ආකාරයෙන් පෙළ ගස්වන කවියා මේ ගී මීණෙන් ස්ත්‍රී රූපයෙහි සුකුමාර බව ස්පර්ශ කරයි.
දුටුගැමුණූ රජු ස්වර්ණමාලි දෙවඟනට කරන ආයාචනය ගීතයට විෂය වුවද ගීතයේ ස්ථායි කොටස හැර පළමු අන්තරා කොටසෙහි සිට එකිනෙකට පෙළ ගැසෙන්නේ ලිය වැනුමකි.
උනා නීලවර්ණ වරල
දෑසේ මල් ගැවසී ලියේ
නඟා ඉන්ද්‍රචාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
ඇගේ උනාලු වරල නීලවර්ණය. මලින් සැරසුණු ඇහි දෙබැම දෙව්දුනු සදිසි ය. ඇගේ ළමැද වසා කිණිහිරි පෙති ගවසා ඇත. නළලත මැණීකක වර්ණය රැගත් තිලකයකි. ඇගේ දෑතෙහි ගිගිරි වළලු ද පාදයන්හි කුඩාමිණී ගෙඩි ද පැළඳ ඇත. කර පැළඳ තිබෙන්නේ පියුම් පොහොට්ටු මාලයකි. ස්වර්ණමාලියගේ රූ සිරු වරුණ කියන්නට කවියා විසින් යොදා ගෙන ඇති උපමා රූපක මාලාව ඇසෙන කල්හි අපේ මතකයට යමක් නැඟෙයි. එනම් අප බොහෝ ස්ත්‍රී වර්ණනාවල මෙබඳු උපමා රූපක දැක හා අසා ඇති බවයි. මේ ගීතය ගතානුගතික නීරස ලිය වැනුමක් ලෙස අපට ඉවත හළ හැකිද? කොහෙත්ම බැරිය. ඊට හේතුව නම් මේ උපමා රූපක අපුරු වු නැවුම් ආකාරයට සංකලනය කර තිබීමයි.
පැරැණි යෙදුම් වුව නව රසයක් නිමැවුම් කිරිම සඳහා නවතම විලාසයකින් ඉදිරිපත් කිරිමට කවියා සමත් වී තිබේ. මෙනයින් මේ ගී මිණ පුරා දිවෙන උපමා රූපක පෙළෙන් නැවුම් බවක් උද්වහනය කරයි. චිරාගත උපමා රූපක පවා කවියා විප්ලවීයකරණය කරන හැටි බලන්න.
අතේ ගිගිරි නාද සලඹ
නුරා හඩින් හඬන ලියේ
කරේ පද්ම කුකුළු මාල
හංස තුඩින් තැළෙන ලියේ
ඇගේ දෑත්හි ගිගිරි වළලු සලඹ නද දෙන කල්හි එය නුරා හඬින් ඇය කරන හැඬීමක් බඳුය. මෙය කෙතරම් රමණිය කාව්‍යෝක්තියක් ද ? කාමසම්භෝග ඉල්ලා නඟන රාවයක් මින් නො ඇසේ ද? පියයුරු හංසයන්ට උපමා කිරිම ද සාහිත්‍යයෙහි ඉතා ගතානුගතිකය. එය බොහෝ කවි ගීත වලින් අපි අසා දැක ඇත්තෙමු. එහෙත් හංස තුඩින් පද්ම කැකුළු තැ ළෙන බව අඟවමින් කවියා අපට පවසන්නේ ස්වර්ණමාලියගේ හංස තුඩුවල තද බව නො වේ ද?
බාලචන්ද්‍ර පටු නළලත
අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු
කුන්ද සමන් පිපෙන ලියේ
දැල දෑත ස්වර්ණ දාම
තාල හඬට සැලෙන ලියේ
බාල චන්ද්‍රයා යනු අඬ සඳය. පටු නළල් තලය තරුණ චන්ද්‍ර මණ්ඩලය සදිසිය. එහි අඳුන් ආලේප කොට ඇති බවත් නළල් තලයෙන් කැරලි ගැසුණු කෙස් රොදවල් ලිහි වැටෙන බවත් කවියා කියයි. ඇගේ දසන් පෙළ කොඳ හෝ සමන් කැකුළු සදිසිය. දෑලෙහි රන්දම් ලඹ දෙන විට ඇගේ සිනාවෙන් ගලා හැළෙන සුධාධවල වර්ණ කාන්තියක් එය මඳ සිනාවක් බවත් සිහි ගැන්වේ. දන්ත කැකුළු යන්නම රමණිය යෙදුමකි.එයට ආලවඩන යන්න එකතු වු විට අතිරමණිය වේ. මහගම සේකරයන් සතුව පැවැති සුදුර්ලභ කවි ප්‍රතිභාව මේ ගීතයේ ගී පද සංකලනයට ආවිෂ්ට වී තිබිමත් පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනීය හඬ මුසුවීමත් මේ ගී මිණිරුවන ශෘංගාර රස පිරි මී විතක් සේ රමණිය වීමට හේතුභූත වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තියෙන බර වචන තේරෙන්නේ නෑ අපිට තේරෙන භාෂාවෙන් ලිව්වා නම් තමා හොඳ
අපගේ චින්තන වින්දන ශක්තිය දියුණු කරන විශිෂ්ට ගීත විචාරයක්. ඇතැම් භාෂාප්‍රේමින් වචනයක් අල්ලාගෙන බොරුවට උඩ පනිනවා. බලන්න ශෂී ප්‍රභාත් මහත්තයා මොනතරම් අපුරුවට මේ ගීතය ගැන රසවින්දන විචාරයක් ලියලා තිබෙනවද? (නි)
සුදුර්ලභ යනුවෙන් වචනයක් සිංහල භාෂාවට අයිති නැත. එය වාත්තුකරුවකුගේ විකෘර්තියකි. සැබෑ වාත්තුකරුවකුටත් නියරක් ඇත. මේ වාත්තුකරු ඉබාගාතේ යන්නෙකි. භාෂා නාශකයෙකි. සු උපසර්ගය යෙදෙනුයේ පදයක ගුණය වැඩි කිරීම සඳහාය. දු යෙදෙනුයේ එහි විරුද්ධාර්ථය දැක්වීම සඳහාය. සුලබ, දුලබ නිදසුන්ය. සුදුලබ යන වචනය නිදර්ශනයක් ලෙස ගත හැකිද? අතීත සාහිත්‍යකරුවන් ගෙන ඇත්ද? සුදුර්ලභ යන වචනයත් සුදුලබ යන්නට සමාන පදයකි. උපසර්ග යෙදිය යුත්තේ අර්ථයට ගැලපෙන ආකාරයෙනි. පැරණි පඬුවෝ එය කළහ. වත්මන් පණුවෝ එය නොදැන කරති. මුණිදාස කුමාරතුංග, ආ.දෝ.චන්ද්‍රසේකර, අ.ආ.ගුණතිලක, විනී විතාරණ, රැපියෙල් තෙන්නකෝන් වැනි හෙළ හවුලේ වියතුන් මෙවැනි ‘සුදුර්ලභ‘ වැනි වචන යොදා ඇති එකම තැනක්වත් පෙන්විය හැකිද?
මහාචාර්ය සුචරිත ගම්ලත්ගෙන් පසු ලියවුණ හොඳ විචාරයක්. මොහුගේ හරබර විචාරයක් යළි දැකීම සතුටක් (නි)
සිංහල ගීතයක් ගැන කාලෙකින් දැකපු හොඳ විචාරයක්. සුබාවිත ගීත පිළිබඳ අද කාලේ කතාබහක් නැහැ. (නි)
හොඳ විචාරයක්. දිගටම මෙබඳු ගීත විචාර පළකරන්න (නි)
හරිම ලස්සනයි. (නි)
මහගම සේකරගේ සාධනීය පදවැලක්. අමරදේවයානන්ගේ මියුරු හඬට මුසුවූ කදිම අවස්ථාවක්. මේ ගීතය දශක ගණනාවක් රසික හදවත් පිනවූ ගීතයක්. කාලෙකින් දුටු අපුරු විචාරයක්. මේ විචරකයාට හොඳ විභවයක් තිබෙනවා. ඔහුගේ බස අනර්ඝ බව අමුතුවෙන් කිවයුතු නොවේ. දිගටම මෙබදු ගීත විචාර පළ කරනු මැනවි. (නි)
සිංහල සංස්කෘත මිශ්‍ර රමණිය බසකින් ලියා ඇති කදිම ගීත විචාරයකි. ලංකාදීප වෙබ් අඩවියට අපගේ ප්‍රණාමය! (නි)
ගීතයක රසවින්දන සටහනක් මෙසේ වචනයක් අල්ලාගෙන හෑල්ලුවට ලක්කිරීම හාස්‍යජනකය. (නි)
ඉහළින්ම අගය කරමි (නි)
‘නරත්වං දුර්ලභං ලෝකේ - විද්‍යා තත්‍ර සුදුර්ලභං
කවීත්වං දුර්ලභං ලෝකේ - ශක්ති ස්තත්‍ර සුදුර්ලභං‘
අග්නි පුරාණයේ එන ශ්ලෝකයකි. සුදුර්ලභං වූ කලී සංස්කෘත වචනයකි. එය හෙළ හවුලේ පඬුවන් භාවිත නොකළද වෙනත් විද්වතුන් බොහොමයක් භාවිත කළ වචනයකි. (කෞ)
විරුද්ධ උපසර්ග පද දෙකක් එකට යෙදීම සිංහල භාෂාවේ නැති තරම්ය. උපසර්ගයක් පාවිච්චි කරනුයේ වචනයක තේරුම වඩාත් පැහැදිලි කිරීම සඳහාය. පැහැදිලි කිරීම යන වචනය ඉදිරියේ ‘සු‘ යන උපසර්ගය යෙදීම ඊට නිදසුනකි. එහෙත් දුර්ලභ යන විරුද්ධාර්ථ පදයට සු උපසර්ගය යොදන අවස්ථා සිංහල භාෂාවෙන් පෙන්වීමට නොහැකි වී ඇත. සංස්කෘත භාෂාවේ එවැනි වචනයක් ඇතැයි සඳහන්වේ. මේ ලේඛකයා සංස්කෘත භාෂාවෙන් ලේඛන ඉදිරිපත් කර ඇත්දැයි අපි නොදනිමු. එසේ නම් ඔහු එම වචනය ගැන ලියා ඇති දේ දැන ගැනීමට අපි කැමැත්තෙමු. ඔහු කියන විදියට ඔහුගේ සංස්කෘත ක්‍රමය අනුව අප විසින් සැකැසුණු මෙම පදවල තේරුම අපට තේරුම් කළ හැකිද ? උදා- සුකුප්‍රකට, සුදුගඳ, සුවිරූපී, සුදුදන, සුදුර්ලබ්ධිත, සුදුක්ඛිත, සුදුර්වර්ණ, සුදුරාවබෝධ, සුදුපිළිපන්, සුකුමන්ත්‍රණ, සුදුර්විපාක. අප මේ නිදසුන් දක්වන්නේ ඔහු කියන ක්‍රමයේ ඇති බරපතල දෝෂයක් පෙන්වා දීම සඳහා මිස ඉහත සඳහන් වචන අපේ භාෂාවට එක් කිරීමට නම් නොවේ. (බ)
ඉතාම අගනා විචාරයක්.(බ)
සුදුර්ලභ යන වචනය සොයා ගත්තේ කොහෙන්ද? මෙවැනි වචනයක් තිබේනම් පැරණි නිදර්ශනයක් හෝ පෙන්වා දෙන්නේ නම් මැනවි.
හැම වචනයකටම උපසර්ග යොදා ලියන සිරිතක් නැති බව මට වඩා නවරත්න මහතා හොඳින් දනී.ඔහු පෙන්වාදෙන උදාහරණවලට උපසර්ග නොයදන බව කිව යුතු නොවේ මේවා තර්ක නොව ඉල ඇදෙන විහිළුය.සිංහල ශිලා ලිපි (පොළොන්නරු යුගය) යුගයේ සිට මහනුවර යුගය දක්වා තිබු ගද්‍ය සාහිත්‍යට සංස්කෘත අභාෂයක් තිබී ඇත. මේවා නොදැන සිටීම අභාග්‍යකි.සිංහල බස සංස්කෘත මෙන්ම දෙමළ බසිනුත් පොහොණි වුණු බසකි.සිංහල-සංස්කෘත මිශ්‍ර බසකින් ලිපියක් ලිවීමට අවසර ගත යුතුද? හෙළ හවුලේ ජිවතුන් අතර සිටි අවසන් පඬුවන් දෙදෙනා වන අරිසෙන් අහුබුදු සහ අනඳපිය කුඩාතිහි ද මම ඇසුරු කොට ඇත්තෙමි. (ම) .
මෙවන් ලිපි තවත් ඉදිරිපත් කරන්න (නි)
හරිම හොඳයි. ඉහළින්ම අගය කරනවා (නි)
මියුරු ගී දැහැනක්. අර්ථවත් පදවෙලක් සමග ඇමිණිනු රස පිරි ස්වර මාලාවකට එක්වුණු ස්වර්ණමය හඬ, මාස්ටර් පණ්ඩිත අමරදේවයන්ගේ. භාෂාවේ ඇතියි පවසන හිදැස් ගැන පමණක්ම දොඩවන්නේ අනබිබවනිය ස්වර රටාවකින් සහ භාවාත්මක හඬකින් නිමවී එන අගය තේරුම් ගැනීමට නොහැකි හෝ එය අගය කිරීමට තරම් නිහතමානිත්වයක් නොමැති වුන් විය යුතුය. (කෞ)