(ගයාන් සූරියආරච්චි)

මහර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ නිමි ඇදුම් බහාලූ පොහොර උර කිසිවකු සොරාගෙන ඇති බවට මහර මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරිය පැමිණිල්ලක් කර ඇති බව කඩවත පොලිසිය පවසයි.

පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කර තිබූ නඩුවකට අදාල කාන්තා දිග කලිසම් තොගයක් මෙසේ සොරාගෙන ගොස් ඇති බව පැවැසේ.

මහර මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරිය කළ පැමිණිල්ලට අනුව කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් එම සිද්ධිය පිළිබදව විමර්ශන සිදුකරයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමර සහ ඒ ආශ්‍රිත සී.සී.ටී.වී දර්ශන සහ අනෙකුත් තොරතුරු ඔස්සේ නිරීක්ෂණය කර සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

බස්නාහිර පළාත් උතුර බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ මෙහෙයවීම මත කැලණිය දිස්ත්‍රික් I බාර පොලිස් අධිකාරී ප්‍රසාද් සුබසිංහ මහතාගේ මගපෙන්වීමෙන් කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.