
(උපාලි ආනන්ද සහ බී.ජී.චතුරංග)
රුවන්වැලි මහා සෑය ආසන්නයේ දන්සල් පරිශ්රයේ මාරාන්තික උපවාසයක් පැවති ස්ථානයට අයුතු ලෙස ඇතුල්වී කලහකාරී ලෙස හැසිරෙමින් එම ස්ථානයේ මාරාන්තික උපවාසය නිරතව සිටි බලන්ගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාට අඩන්තේට්ටම් සිදුකර පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශාසනයෙන් නෙරපා ඇති බව කියන රාජාංගනයේ සද්ධාරතන නමැත්තා මේ මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිදු වික්රමරත්න මහතා අද නියෝග කළේය.
සැකකාර සද්ධාරතන නමැත්තා සමග අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අනෙකුත් සිවිල් සැකකරුවන් තිදෙනා ශරීර ඇප මත මුදා හරින ලෙසටද නියෝග කළ ප්රධාන මහේස්ත්රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා ගැටුමට සහ පහරදීමට සම්බන්ධ බවට තවත් සැකකරුවන් අනාවරණය වන්නේ නම් ඔවුන්ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාට තවදුරටත් නියෝග කරනු ලැබීය.
රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර පොලීසිය සඳහන් කළේ මෙම ප්රශ්නගත ගැටුමට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවයි.
ඔවුන්ද අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්රියාත්මක බවද අධිකරණයට දැනුම් දුන් පොලිසිය රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සැකකරුවෝ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා අධිකරණයට දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් පවසා සිටියේ තම සේවා දායකයින් මෙම ගැටුමට සම්බන්ධ බවටත් , විවිධ පහරදීම් සිදු කළ බවටත් පොලිසිය එල්ල කරන චෝදනා තරයේ ප්රතික්ෂේප කරන බවයි.
ඒ අනුව ඕනෑම ඇප කොන්දේසියක් මත සිය සේවා දායකයින් මුදාහරණ ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න මහතා , සියලු සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිට නීතිඥවරයා කළ ඉල්ලීම ප්රතික්ෂේප කළේය.
ඒ අනුව සිවිල් සැකකරුවන් තිදෙනා පමණක් ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළ ප්රධාන මහේස්ත්රාත්වරයා පළමු සැකකාර රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ඇප මත මුදා හැරීම ප්රතික්ෂේප කරමින් ඔහු මේ මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd