(අංජුල මහික වීරරත්න)

‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම යටතේ කැබිතිගොල්ලෑව, යාං ඔය – වාහල්කඩ ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් අද ආරම්භ කෙරිණි.

වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්, මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් අලි–මිනිස් ගැටුම අවම කිරීමත් අරමුණු කර ගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මකය.

වාහල්කඩ, ඉස්සන්වැව, පුංචිමුදාගම, ගල්කඩවල සහ යාං ඔය අලුත් පාර ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.

21 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමින්ද සිල්වා මහතාගේ සහ 211 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් වික්‍රමාරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ, 5 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් චමිල බණ්ඩාර මහතාගේ සහ 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් හර්ෂ ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් හා සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සංවිධානය කර තිබිණි.

මෙම විශේෂ මෙහෙයුම සඳහා යුද හමුදා නිලධාරීහු 11 දෙනෙක් සහ සෙසු නිලයන් 60 දෙනෙක් ඇතුළු 71 දෙනෙක්ගෙන් සමන්විත යුද හමුදා කණ්ඩායමක් එක්ව සිටියහ.