තරිඳු ජයවර්ධන
 
මහනුවර කළහකාරී තත්ත්වය පැවැති පසුගිය මාර්තු මාසයේ පූජාපිටිය අඹතැන්නේ ආගමික ස්ථානයකට අලාභ හානි සිදු කළ බවට සැකපිට යුද හමුදාවේ කෝප්‍රල්වරුන් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන දිසාවෙන් අද (09) සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

 
මෙම යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනා දැනට සේවයේ නියුතුව සිටින දෙදෙනකු බව ද ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
 
අත්අඩංගුවට ගත් එක් කෝප්‍රල්වරයකු පුත්තලම සින්නවිල්ලු වත්තේ 143 වැනි බළකා මූලස්ථානයේ රාජකාරි කරන බව ද, අනෙක් කෝප්‍රල් යාන්ත්‍රික රෙජිමේන්තුවේ කැකිරාව දඹුලුපල්විල ආධුනිකත්ව පුහුණු පාසලේ සේවය කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
 
මේ දෙදෙනාම අඹතැන්න කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කළ පසු මුලින්ම 10 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන්ගෙන් ප්‍රශ්න කරද්දී අනාවරණය වූ තොරතුරු අනුව සහ සීසීටීවී වීඩියෝ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ.