(නිමන්ති රණසිංහ )

නීති විරෝධී ක්‍රියාවලට මෙන්ම කොල්ලකෑම් සහ බිය වැද්දවීම සඳහා භාවිත කර ඇති මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ඊට යොදන උණ්ඩ සහ තවත් නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කටාන ප්‍රදේශයේ දි ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම සැකකරුවන් දෙදෙනා කටාන පොලිස් වසමේ කොන්ද ගම්මුල්ල, දෙමං හංදිය සහ ගනේපොල, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51ක සහ 55 ක අයවලුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ භාණ්ඩ අතර, ඉතාලියේ නිෂ්පාදිත මයික්‍රො වර්ගයේ පිස්තෝල අවියක්, පිස්තෝල උන්ඩ ගැබක්, බෝර 12 අවියක්, බෝර 12 උන්ඩ 48 ක්, 0.22mm වර්ගයේ උණ්ඩ භාවිතා කිරිමට හැකි පරිදි නිර්මාණය කරන ලද රිවොල්වර ආකෘතියට අයත් ගිනි අවි 01 ක්, සහ ඊට යොදන 0.22mm වර්ගයේ උණ්ඩ 20 ක් ඇති බවද පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි .

සැකකරුවන් සහ අදාළ භාණ්ඩ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටාන පොලිස් ස්ථානයට භාර කළ බව ද පොලිස් විශේෂ කාර්ය බකාය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය  පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.පි. ගුණතිළක ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම මෙහෙයුම සිදුකළහ.