(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා අද (18) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වන විට 68 වැනි වියේ පසුවිය.

ඒ මහතා ශල්‍යකර්මයකට ලක් කිරීම හේතුවෙන් සති දෙකකට අධික කාලයක් කොළඹ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

වර්ණපුර මහතා පුතුන් දෙදෙනකුගේ පියකු වන අතර කොළඹ නාලන්දා විද්‍යාලයේ නමගිය ක්‍රිකට් ක්‍රීඩකයන් වන මාධව සහ මධුර, වර්ණපුර මහතාගේ පුත්‍රයෝ වෙති.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මාලින්ද වර්ණපුර මහතා වර්ණපුර මහතාගේ ඥාති පුත්‍රයෙක් වෙයි.

ජේෂ්ඨ ක්‍රිකට් තරග තීරක උපාලි වර්ණපුර මහතා බන්දුල වර්ණපුර මහතාගේ වැඩිමහල් සොයුරා වෙයි.

වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතියකු ලංකාදීපයට පැවැසීය.