ශ්‍රී ලංකාවේ ජීවත් වූ ආදි මානවයන්ගේ අවශේෂ අතර තිබී හමුවූ දත් පිළිබඳ කරණ ලද පර්යේෂණකින් ලොව මානව පරිනාමය පිළිබඳ ඉතා වැදගත් සාක්ෂි හමුවී ඇතැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා පර්යේෂකයෝ පිරිසක් කියති.
ඔවුන් පෙන්වා දෙන්නේ පුරාවිද්‍යාඥයන් නොසිතූ ආකාරයෙන් අතීත ප්‍රාග් ඓතිහාසික මානවයන් ආහාර සුලබව නොමැති නිවර්තන තෙත් වර්ෂා වනාන්තර මධ්‍යයේ ද ඉතා දුෂ්කර ලෙස වුව ද ජීවත්වී ඇති බව ශ්‍රී ලංකාවෙන් ලැබුණු මානව සාධක අනුව තහවුරු වන බවයි.
ඔවුන් සිදුකළ පර්යේෂණය 2015 මාර්තු මස 15 දා නිකුත් කළ ජාත්‍යන්තර සයන්ස් සඟරාවේ ප්‍රකාශයට පත්කැර ඇත. මේ පර්යේෂණය සිදුකැර ඇත්තේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය පෙට්‍රික් රොබට්ස්, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අචාර්ය නිමල් පෙරේරා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා නිලධාරි ඔෂාන් වෙදගේ, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය ශිරාන් දැරණියගල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සත්ත්ව විශ්ලේෂක ජූඩ්පෙරේරා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂක සමන් ඇරාගම, ආචාර්ය ඇන්ඩෘ ග්ලෙදිල්, ආචාර්ය මයිකල් ඩී පෙට්‍රග්ලියා, ආචාර්ය ජූලියා ඒ ලී තෝප් න කණ්ඩායම විසිනි.
1982 වර්ෂයේ කුරුවිට බටදොඹ ලෙනෙන් සොයාගත් මානව දතක් විශ්ලේෂණයට ලක්කරමින් එනැමලය සම්බන්ධයෙන් කරණ ලද ගැඹුරු පර්යේෂණයක් මේ සඳහා පාදක කරගෙන තිබේ. එමෙන් ම ශ්‍රී ලංකවේ තෙත් කලාපයේ පිහිටි ගල්ලෙන් කැණීම්වල දී හමුවූ අනිකුත් මානව අවශේෂ සහ ඔවුන් ආහාරයට ගත් සතුන්ගේ අවශේෂ සම්බන්ධයෙන් කරණ ලද පර්යේෂණ ද මේ වාර්තාවට උපයෝගී කැරගෙන ඇත.
පර්යේෂකයන් පවසන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයා තම පරිනාමයේ දී සවානා තෘණ භූමි, වියළි කලාපීය වනාන්තර හා වෙරළ ආශ්‍රිත පරිසරයන්හි ජීවත් වූවායැයි තිබූ මතය ශ්‍රී ලංකාවෙන් කරණ ලද සොයාගැනීම අනුව බිඳවැටෙන බව පර්යේෂකයෝ කියති.
පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය නිමල් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ කිවේය.
‘‘කුරුවිට බටදොඹ ලෙන, හොරණ පාහියන් ලෙන, බලංගොඩ කූරගල ලෙන, කිතුල්ගල බෙලි ලෙන වැනි ලෙන්වලින් ලැබුණු මානව දත් සහ සත්ත්ව අවශේෂ මෙහිදී විශේෂයෙන් පර්යේෂණයට ලක් කළා. ඒවායින් සොයාගත් ඉතා වැදගත් කරුණු රැසක් නව පර්යේෂණ වාර්තාවෙන් අපි ඉදිරිපත් කරණවා. එහිදී අපි මෙම කරුණු විශ්ලේෂණය කළා. ලොව අවසාන හිම යුගය හෙවත් ප්ලයිස්ටොසීන යුගයේ සිට හොලෝසීන යුගය දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සාධක හමුවනවා. මේවා අතර ඇති මානව හා සත්ත්ව අවශේෂවල ස්ථායී කාබන් හා ඔක්සිජන් සමස්ථානිකවල විශ්ලේෂණයක් සිදු කළා. එය දීර්ඝ කාලයක් ගතවන පර්යෙෂණයක්. 1982 වර්ෂයේ සිට 2005 වර්ෂය දක්වා කැණීම් වලින් හමුවූ සාධක මේ සඳහා යොදා ගත්තා. “
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකවේ සිටි ප්‍රාග් ඓතිහාසික මානවයා මූළික වශයෙන් වැසි වනාන්තර මධ්‍යෙය් ජීවත් වී ඇති බවයි. බට දොඹ ලෙනේ මානව සාධක වසර 37,000ක් තරම් පැරණි අතීතයකට අයත් වුව ද පර්යේෂණයට ලක්කළ මානව දත හමුවී ඇත්තේ වසර 20,000 ක් පැරණි පස් තට්ටුවකිනි. කාබන් කාලනිර්ණය අනුව එම මානවයා අදින් වසර 20,000ට පෙර ජීවත් වූ මානවයකු බව තහවුරු කිරීමට හැකිවූ බව ද ආචාර්ය පෙරේරා මහතා පවසයි.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වැසි වනාන්තරවල ආදි මානවයන් ඉතා දුෂ්කර දිවියක් ගත කරන්නට ඇති බවයි. එවැනි වනාන්තරයක ඔවුන්ගේ යැපීම් ධාරිතාව ඉතා අඩු අගයක් ගන්නා බව ද ඔවුහු කියති. පැතිරුණු ඝන යටි රෝපණයත් ශක්තිමත් උඩු වියනත් හේතුවෙන් මෙවැනි වනාන්තරවල දක්නට ලැබෙන්නේ කුඩා සතුන් වීම ආහාර සොයා යාමේ දී ඔවුන්ට ගැටළුවක් වන්නට ඇති බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති. මී මින්නන්, වල් ඌරන්, ඉත්තෑවුන්, හාවුන්, දඬු ලේනන්, වඳුරන් වැනි සතුන් දඩයම් කිරීමට වැය කිරීමට සිදුවන ශක්තිය හා ඔවුන්ගෙන් ගත හැකි ආහාර ප්‍රමාණය සැළකූ විට යැපීම් ධාරිතාව ඉතා අඩු අගයක් ගන්නා බව පුරාවිද්‍යාණයන්ගේ මතයයි.
මෙම සොයාගැනීම සිදුකරණ තුරු පුරාවිද්‍යාඥයන්ගේ මතය වූයේ තෙත් කලාපීය ලෙන් ආශ්‍රිතව මානවයා ජීවත් වුව ද ඔවුන් තම ආහාර අවශ්‍යතා සඳහා වියළි කලාපයට සංක්‍රමණය වීම හෝ ආහාර හුවමාරුව කරන්නට ඇති බවයි. එම මතයත් සැවානා තෘණ බිම් හා වියළි වනාන්තරයන්හි ආහාර බහුල හා විශාල සතුන් දඩයම් කළ හැකි ප්‍රදේශවල ආදි මානව ජනාවාස පැතිරී තිබූ බවට පෙර තිබූ මතයත් ශ්‍රී ලංකාවේ මානව දත් පදනම් කරගනිමින් කරණ ලද නව පර්යේෂණය අනුව අභියෝගයට ලක්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මහත් සතුටක් (නදී)
සුදේශ් ඇයි ඒ ?(හේ)
පුරා විද්‍යාත්මකව නම් අපිට ලොකු ආඩම්බරයක් තමයි බ්‍රිතාන්‍යයේ මේ මතය .(හේ)
පුරා විද්‍යාත්මකව නම් අපිට ලොකු ආඩම්බරයක් තමයි බ්‍රිතාන්‍යයේ මේ මතය .ඒත් එයාලගේ දේශපාලන මතනම් අපිට වැදගත් නැහැ (බ)
ලෝක ශිෂ්ටාචාර කතාවේ අලුත් හැරවුමක්ද. (බ)
එතකොට මෙයාලා කොළ ගෙඩි කාලම නැද්ද ? මස් විතරද ඒ කාලේ මානවයා කාලා තියෙන්නේ.(දිල්)
තරහ වෙන්න එපා කවුරුවත් මගෙත් එක්ක ලංකාවේ දස දෙසින් දිනපතාම වාර්තා වෙන්නේ පුදුම සහගත සොයා ගැනීම් සහ අරුම පුදුම දේවල් පත්තර10ක් ගත්තොත් මේ වගේ දේවල් 100 විතර සොයා ගන්න පුළුවන්. නමුත් ඉන් පසු මේවට වෙච්ච දෙයක් හෝ මේවයින් ලබාගත් ප්‍රයෝජනයක් නම් දකින්න නැති තරම්. ශ්‍රී ලංකාවේ අපිට තියෙන්නේ දූපත් මානසිකත්වයක්. අනික් රටවල් සමග හුවමාරුවක් නෑ නීතිය සංස්කෘතිය හරස් වෙනවා. අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තිබුණත් පැහැදිලි අනාගතයක් නෑ (බ)
සාගර, වැදගත් දෙයක් සම්බන්ධයෙන් ලංකාව ගෑවිලා හරි තියෙන එක සතුටක් නෙවෙයිද? මට නම් එහෙම දැනෙනවා. මම දන්නෑ එ් ඇයි කියලා. (බ)
සාගර, වැදගත් දෙයක් සම්බන්දයෙන් ලංකාව ගෑවිලා හරි තියෙන එක සතුටක් නෙවෙයිද? මට නම් එහෙම දැනෙනවා. මම දන්නේ නැහැ එ් ඇයි කියලා.(නදී)
අවුරුදු 20000 කට එහා ගැන කියන්නේ දැනුත් ශ්‍රී ලංකා වාසින් කොච්චර දුෂ්කර ජීවිතයක්ද ගත කරන්නේ. (නදී)