(ඩයනා උදයංගනී)

මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැඳවීම ශීලාචාර සමාජයක නොවිය යුත්තක් බවත්, එවැන්නත් සිදුව තිබීම ගැන ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස තමාත්, රජයත් කණගාටුව පළ කරන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මෙම සිදුවීම ආණ්ඩුවක් ලෙස ප්‍රතික්‍ෂේප කරන බව කී අමාත්‍යවරයා එය නොවිය යුත්තක් බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.

මාධ්‍යවේදීන් කිසිසේත් පොලීසියට, රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීම නොකළ යුතු බව අග්‍රාමාත්‍යවරයාද තමාට පැවසූ බව කී ඇමතිවරයා මාධ්‍ය ආයතන වෙත කිසි විටෙකත් රහස් පොලිස් නිලධාරීන් එවන්නේ නැති බව විෂය භාර ඇමති සරත් වීරසේකර මහතාත් ඉතා වගකීමෙන් පැවසූ බව කීවේය.

 අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද(28) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

සුදුලූණු වංචාව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාට හා රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා එය වාර්තා කළ මාධ්‍යවේදීන් සහ එම පුවත්පත්වල කර්තෘවරුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබීම සම්බන්ධයෙන් මෙහිදී එම මාධ්‍යවේදියා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද පැවසීය.

“පුවත්පත් කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් රහස් පොලීසිය වෙත කැඳවා තිබූ නිවේදන අයිලන්ඩ් හා ලංකාදීප පුවත්පත් ආයතනවලින් මටත් යොමුකර තිබුණා. මේ ගැන අප බරපතල ලෙස කණගාටු වෙනවා. ආණ්ඩුවක් ලෙස මෙය ප්‍රතික්‍ෂේප කරනවා. මෙය නොවිය යුතු දෙයක් බව ඉතා වගකීමෙන් කියනවා. මේ සම්බන්ධයෙන් මා අගමැතිතුමාගෙන් විමසූ විට එතුමා ඉතා පැහැදිලිව පැවසුවේ මාධ්‍යවේදීන් කිසිසේත් පොලීසියට, රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීම නොකළයුතු බවයි. රහස් පොලිස් නිලධාරීන් කිසි ලෙසකත් මාධ්‍ය ආයතන වෙත එවන්නේ නැති බව විෂය භාර ඇමති සරත් වීරසේකර මහතාත් ඉතා වගකීමෙන් පැවසුවා.

ලංකාදීප පුවත්පතේ පළවූ කතුවැකියක් සම්බන්ධයෙන් එහි කතුවරයාට පවා ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා. ද අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා ඇතුළු හයදෙනෙක් පමණ මේ  කැඳවූ අය අතර සිටියා.

හිටපු නිලධාරියෙක් සුදුලූණු වංචාව සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට සහ රාජ්‍ය ඇමතිවරයාට ඇඟිල්ල දිගු කළ විට බන්දුල ඇමතිවරයා ඒ පිළිබඳ පැමිණිල්ලක් කළා. එතුමා මේ සම්බන්ධයෙන් ආයතන වශයෙන් කිසිවෙක් නම් කර තිබුණේත් නැහැ. බන්දුල ගුණවර්ධන මහතා වංචනික තක්කඩි දේශපාලනඥයකු නොවන බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා එතුමා ගොස් පැමිණිල්ලක් කිරීම යුක්ති සහගතයි. මෙහි වෙත තැනක පැටලිල්ලක් වී තිබෙනවා.

මේ සිදුවී තිබෙන්නේ ශිලාචාර සමාජයක නොවිය යුතු දෙයක්. ආණ්ඩුවක ගොරෝසු දරදඬු ඒකාධිපති නීතිවලට එරෙහිව පෑන අතට ගත් මාධ්‍යවේදියකු වී සිට ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස සිටින මොහොතක මා කිසිසේත්ම මෙයට එකඟ නැහැ. මෙය බැහැර කිරීම ගැන අගමැතිතුමාට හා මහජන ආරක්‍ෂක අමාත්‍යවරයාට ස්තුතිය පළ කරනවා. ලංකාදීප කර්තෘවරයා ඇතුළු මාධ්‍යවේදීන්ට මා කණගාටුව පළ කරනවා.” යැයි ද අමාත්‍යවරයා පැවසීය.