විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරිය ලෙස පත් කරනු ලැබ සිටින මහීෂිනී කොලොන්නේ මහත්මිය සිය ප්‍රථම මාධ්‍ය හමුව එම අමාත්‍යංශයේ දී අද පැවැත්වූ අතර ඒ සඳහා සහභාගී වන ලෙස මාධ්‍ය ආයතන වෙත එවා තිබූ ආරාධනා පත්‍රය මගින් මාධ්‍යවේදීන්ට කොන්දේසි ගණනාවක් පනවා තිබිණි.

සජීවී වාර්තාකරණ කැමරා රැගෙන ආ නොහැකි බවත්, රූපවාහිනී ආයතනවල හා එසැණින් ප්‍රවෘත්ති පළ කරන වෙබ්අඩවිවල වාර්තාකරුවන්ට හා ප්‍රවෘත්ති කර්තෘවරුන්ට ඊට සහභාගී විය හැකි වුවත් කැමරාකරුවන්ට සහභාගී විය නොහැකි බව එහි දක්වා තිබිණි.

මාධ්‍ය හමුව ආරම්භ වන්නේ පෙරවරු 11ට නමුත් මාධ්‍යවේදීන්ගේ පැමිණීම පෙරවරු 9.30ට පෙර තහවුරු කළ යුතු බව ද එහි සඳහන් විය.

මාධ්‍ය හමුව අතරතුරදී මාධ්‍යවේදීන් අමාත්‍යංශය හා සම්බන්ධ කරුණු පිළිබඳව ප්‍රකාශකවරියගෙන් ප්‍රශ්න කළ අතර එම ඇතැම් ප්‍රශ්නවල දී ඇය පැවසුවේ තමන් එම කරුණු පිළිබඳ තවමන් අධ්‍යයනය කරමින් සිටින බවයි.

අමාත්‍යංශ තොරතුරු ලබා ගැනීම සඳහා මාධ්‍යවේදීන් ඇගේ ජංගම දුරකතන අංකය ඉල්ලූ අවස්ථාවේ දී ‘මට අමාත්‍යංශයේ තවත් රාජකාරි තිබෙනවා. ඒ නිසා නිතර මාධ්‍යවලට පිළිතුරු දෙන්න හැකියාවක් නැතිවේවි.‘ යනුවෙන් පවසා අංකය ලබා දීම ප්‍රතික්ෂේප කළාය.

ඇය මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.

ලංකාවේ මාධ්‍යවේදීනට මෙවැනි නීතී දැමුවත් ඇමෙරිකා දවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක හෝ තොරතුරු දැන ගැනීමේ අයිතියි ඉහළින්ම ගරු කරන බවත් කිසිම තහංචියක් නොපනවන බවත් විදෙස් මාධ්‍යවේදීහු කියති.

(ඡායාරූපය ධවල මන්දිරයේ මාධ්‍ය හමුවකි)

press-briefing-room-2007-unveiling