ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් එරට හමුදාවට අයත් සී 130 ජේ හර්කියුලිස් වර්ගයේ ගුවන් යානය ඇසෑම් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකට ගොඩබෑවේය.

යානය ගොඩබෑවේ අධිවේගී මාර්ගයේ ඩිබ්රුගා මෝරාන් බයිපාස් නමැති ප්‍රදේශයේ පිහිටි හදිසි ගොඩබෑමේ ස්ථානයටය. හදිසියේ යුදමය තත්ත්වයකදී, හමුදා ගුවන් යානයකට ගොඩබෑමට හැකි වන ආකාරයට මෙම ස්ථානය නිර්මාණය කර ඇත.

මෝදි රැගත් හමුදා යානය, අධිවේගයට ගොඩබෑවේ එය තහවුරු කරමිණි.

හදිසි තත්ත්වයකදී හමුදා ගුවන් යානයකට මේ අයුරින් අධිවේගයට ගොඩබෑම සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සියල්ල ද ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය මෝදිගේ අධීකෂණයට පවා ලක් විය.

මෝරාන් බයිපාස් ප්‍රදේශය, ඉන්දියාවේ උතුරුදිග දේශසීමා ආරක්ෂාව සහ යටිතල පහසුකම් සංවර්ධනයේ නව සන්ධිස්ථානයක් බව අග්‍රාමාත්‍ය මෝදි පෙන්වා දුන්නේය.

ඇසෑමය පිහිටන්නේ ඉන්දියාවේ උතුරු දෙසිනි. මෝරාන් බයිපාස් බලා පැමිණි මෝදිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඇසෑම් ප්‍රාන්ත මැතිවරණය මෙම වසරේ මාර්තු සිට අප්‍රේල් දක්වා පැවැත්වෙයි. ඇසෑම් ප්‍රාන්ත සභාව ආසන 126 කින් සමන්විත වෙයි. මෝදි ඇසෑමයට ගියේ මැතිවරණ රැළි කීපයකට සහභාගී වීමේ අරමුණින්ය.