(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මෙතෙක් ක්‍රියාත්මකවූ කෝප් ,කෝපා ඇතුළු කමිටු හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව අවසාන (වාර අවසාන) කිරීමත් සමග අහෝසිවී යන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පැවසූහ.

මේ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාව ආරම්භ කිරීමෙන් පසුව තේරීම් කාරක සභාව පිහිටුවා නව සාමාජිකයන් පත් කර එම කමිටු නැවතත් පිහිටුවිය යුතු වෙයි. එසේම මෙතෙක් යථා පරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනාද වාර අවසාන කිරීමත් සමග අහෝසි වන අතර මන්ත්‍රීවරුන් ඒ ප්‍රශ්න සහ යෝජනා නැවතත් ඉදිරිපත් කරමින් ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව, උසස් නිලතල පිළිබද කාරක සභාව , විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා වාර අවසාන කළද අහෝසි නොවනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවද අහෝසිවී නොයන්නේය.

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය 2020 අ‌ගෝස්තු 20 සිට 2021 දෙසැම්බර් 12 දක්වාත්, දෙවන සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වාත් ක්‍රියාත්මක විය.

මේ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය 2022 අගෝස්තු 03 දින ආරම්භවූ අතර පාර්ලිමේන්තුව පසුගිය (27) වැනිදා වාර අවසාන කරන මොහොත වනවිට දින 58ක් රැස්ව ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.