
(දමින්ද විජේසූරිය)
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ගියේ එක්දින තරගවලදී අත්දැකීම් අඩු කණ්ඩායමක් බවත් ඔවුන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වීම අසීරු බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
“බොහෝ දෙනා කියනවා බලාපොරොත්තු ගොඩක් තිබුණා කියලා. ඒත් මම හිතන්නේ අපේ බලාපොරාත්තු ගැන අපි යථාර්ථවාදී විය යුතුයි” යැයි ද ඔහු කීවේය.
මහේල ජයවර්ධන මහතා මෙසේද පැවැසීය.
“ලෝක කුසලාන තරගාවලියට යන්න ඉස්සර වෙලා අපි ක්‍රීඩා කළේ සුදුසුකම් තේරීමේ තරගාවලියකට. අපි ඒකෙන් තේරිලා තමයි ලෝක කුසලාන තරගාවලියට ගියේ. එතැනදීම අපි දැනගත්තා අපි ඉන්නේ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් අතරේ අවසන් කණ්ඩායම් දෙකේ කියලා. ඒක මගින් පෙන්නුම් කළේ පසුගිය අවුරුදු දෙකේදීම අපි සෙල්ලම් කරපු ආකාරයයි.
අපි පසුගිය මාස 16 ක පමණ කාලයේදී එක්දින තරග 35 ක් විතර ක්‍රීඩා කළා. අපේ ජයග්‍රහණ ප්‍රතිශතය සියයට 20 විතර ඉඳලා සියයට 50 කට විතර නැග්ගා. අපි තරග 25ක් විතර දිනලා තරග 13 ක් පැරදුණා. ඒ හින්දා අපි නිවැරදි දේ කළා කියන්න පුළුවන්.
හැකියාවන් අරන් බැලුවාම, විශේෂයෙන්ම අනෙකුත් කණ්ඩායම් එක්ක සංසන්දනය කරද්දි, අපි මීට වඩා දියුණු වෙන්න ඕනේ. ළමයි සේරම ඒ ගැන දන්නවා. අපි සාකච්ඡා කරද්දි ඒගොල්ලන් වුණත් කීවේ ඒක තමයි.
පන්දු යැවීමෙන් වුණත්, පිතිහරඹයේදී වුණත්, අපි මීට වඩා ස්ථාවර වෙන්න ඕනේ. ඒත් මගේ විශාලතම ප්‍රශ්නය තමයි අපේ පන්දු රැකීම.
පිටියේදී අපේ පන්දු රැකීම කොහොමටවත් හොඳ නෑ. අපි තරගාවලිය පුරාම උඩපන්දු 16 ක් අතහැරියා. ඒක තමයි මේ තරගාවලියේ කණ්ඩායමක් අතහැරපු වැඩිම උඩපන්දු සංඛ්‍යාව. විශේෂයෙන්ම දුර්වල පන්දු යවන්නන් පිරිසක් එක්ක තරගයකට යනකොට, පන්දු රකින්නන්ගෙන් ඒ අඩුව පිරවෙන්න ඕනෑ.
ඔවුන් පුහුණුවීම්වලදීත් අනෙක් අවස්ථාවලදීත් මහන්සියෙන් වැඩ කළා තමයි. ඒත් තරගයට ගියාම, ඔවුන් උඩපන්දුවක් බලාපොරොත්තු වෙන ආකාරය, ඒ වෙත අවතීර්ණ වෙන ආකාරයේ විශාල අඩුපාඩුකම් තිබුණා. ඒක එන්නේ පළපුරුද්දත් එක්කයි.
අවුරුදු දෙකකට ඉස්සරවෙලා, තේරීම් කමිටු නිලධාරීන් සහ පුහුණුකරුවන් එක්ක මේ කණ්ඩායම සූදානම් කරන කොට අපි එක දෙයක් දැනගෙන හිටියා. ඒ තමයි අපි මේ ලෝක කුසලාන තරගාවලියට යන්නේ අත්දැකීම් අඩු ක්‍රීඩකයන් පිරිසක් එක්ක කියලා. මේ වගේ ඉහළ මට්ටමේ තරගාවලියක, ඉහළින්ම සිටින කණ්ඩායම් එක්ක සෙල්ලම් කරද්දී, අපිට එක්දින තරග 150 ක් නැත්නම් 200 ක් විතර ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ඉන්න ඕන. එහෙම වුණා නම් මේක වෙනස් කතාවක් වෙන්න තිබුණා.
අපිට ඒ අත්දැකීම් තිබුණේ නෑ. ඒක එක්තරා විදියක ආයෝජනයක්.
එදා කණ්ඩායම සූදානම් කරද්දි අපි ඒක දැනගෙන හිටියා. අපි කටයුතු කළේ ඒ වෙනුවෙන්” යයි ද මහේල ජයවර්ධන මහතා කීවේය.
මේ අතර, දසුන් ශානක දිගින් දිගටම කණ්ඩායමේ රඳවාගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී මහේල කියා සිටියේ දසුන්ට ආබාධයක් ඇතිවූ බවත්, එම ආබාධය සුව වීම සඳහා සුමාන දෙකක් හෝ 3 ක් යන බව දැනුම් දුන් බවත්ය.
“අපේ සංයුතිය අනුව තමයි අපි දසුන්ව තියාගත්තේ. දසුන් හොඳ වුණොත් අයෙත් කණ්ඩායමට එකතු කරන්න. දවස් 10 ක් 12 ක් යද්දී දසුන් සම්පූර්ණ සුවය ලැබුවා.
අපි ඉන්දියාවට ගියාම, ඒ තණතීරු හැසිරෙන හැටි අපි දැක්කා. ඒවායේ ලකුණු ගලාගෙන ආවේ ඉතාමත් වේගයෙන්. අපි ඒ ගැන අපේ පිතිකරුවන් එක්ක කතා කළත්, අපේ අයට ඒක ඒ තරම් හුරු පුරුදු දේවල් නොවේ. විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලියට ඉස්සරවෙලා අපි ක්‍රීඩා කරපු තණතීරුවල ඒ විදිහට ක්‍රීඩා කරන්න පහසුකමක් තිබුණේ නෑ.
ඒක ඇත්තටම අපේ හැකියාවන් මොන වගේද, අපි දිනන්නේ කොහොමද කියලා තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්.
අපි සෙල්ලම් කළේ මන්දගාමී තණතීරුවල. එහෙම ක්‍රීඩා කරලා එක පාරටම ඉන්දියාවේ තිබුණා වගේ තණතීරු ලැබුණාම, පිතිකරුවන් එයාලගේ පහර තේරීම ගැන ඒ තරම් විශ්වාසයක් තියන්නේ නෑ. මොකද ඒ ගොල්ලන් ඒකට හුරු වෙලා තිබුණේ නෑ.
එක පැත්තකින් ඒක අභියෝගයක්.
විශේෂයෙන්ම ඉතාමත් හොඳ පන්දු යවන්නන් පිරිසක් හමුවේ. ඒක තමයි සාකච්ඡා කළේ. ඒ නිසා අපි ක්‍රීඩකයන්ට නිදහස දුන්නා ගිහිල්ලා ඒ අයට හුරු පුරුදු විදිහට ක්‍රීඩා කරන්න කියලා.
මම හිතන්නේ අපිට තිබුණ වැදගත්ම තරගය තමයි පාකිස්තානයට එරෙහිව පැවැති තරගය. අපි ලකුණු 340ක් ලබාගත්තත් අපිට ඒක ආරක්‍ෂා කරගන්න බැරිවුණා. ඒත් අපි ඒක ආරක්‍ෂා කරගත්තා නම්, තත්ත්වය මීට වඩා හුඟාක් වෙනස් වෙන්න තිබුණා. විශේෂයෙන්ම ඒකෙන් එන විශ්වාසනීයත්වයත් එක්ක.
ඇත්තටම ලෝක කුසලාන තරගාවලියට ඉස්සරවෙලා අපි පන්දු යවන්නන් කීප දෙනෙක් ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒත් අවාසනාවකට වගේ අපිට ඒ පන්දු යවන්නන් පස් දෙනා තරගාවලියට ගෙනියන්න බැරි වුණා.
පසුගිය මාස 16 ක කාලයේදීම, මේ පන්දු යවන්නන් පස් දෙනා, අපට එක තරගාවලියකදී ක්‍රීඩා කරවන්න බැරි වුණා. මේවා තමයි අපි ඉගෙන ගත යුත්තේ. ඒ කියන්නේ අපි ක්‍රීඩකයන්ව රඳවා ගන්නේ කොහොමද කියන එක. අනෙක් අතට ක්‍රීඩකයන් වුණත්, මීට වඩා වගකීමෙන් තම තමන් ගැන, තමන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන බලාගන්න ඕනේ.
ඒකකයක් හැටිය, අපට තියෙන හැකියාවන් ගැන බැලුවාම, ඔවුන් දන්නවා ඔවුන් ඉන්නේ කොතැනද කියලා” යයි ද මහේල පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් මෙසේ කීවේය.
“ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වැරදුණා.
ඉන්දියාව එක්ක තරගයේදී දෙවැනියට පන්දුවට පහර දෙද්දි තණතීරුව හැසුරුණු ආකාරය ටිකක් වෙනස් වුණා. අපි විතරක් නෙමේ තවත් කණ්ඩායම් කීපයක්ම ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරද්දි අඩු ලකුණුවලට දැවී ගියා. මේ වෙලාවේ ඉන්දීය කණ්ඩායම, පන්දු යැවීම පැත්තෙන් ගත්තත්, පිතිහරඹයෙන් ගත්තත් ලෝකයේ අංක 1 තැන ඉන්නේ.
කිසිම තරගයක් අපි පරදින්න බලාගෙන සෙල්ලම් කරන්නේ නෑ.
එක කණ්ඩායමක් එක්ක දෙපාරක්ම ඒක වෙන්න බැහැ. අපි ඒක පිළිගන්නවා. අපි අතින් වරදක් වුණා.
ලකුණු 50 ට අවුට් වෙනවද, 100 ක් ගහනව ද, 200 ක් ගහනවාද කියලා අපි කලින් හිතාගෙන යන්නේ නෑ... ක්‍රිකට් ක්‍රීඩාවෙදි එහෙම කරන්න බෑ” යයි ද කුසල් මෙන්ඩිස් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහේල ඔයාගේ සේවා අපිට එපා... ඔයා පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න දැන් හම්බ කරගත්තා ඇතිනේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායාමෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වීම අසීරු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ප්‍රකාශ කරන්නේ නම් ඔහු උපදේශක පුහුණුකරු තනතුරෙන් ඉවත්විය යුතුවේ. ක්‍රිකට් කණ්ඩායාමෙ සියලු දෙනා ඔහු සමග සිටියදීම මේ ප්‍රකශය මාධ්‍ය ඉදිරියේ ප්‍රකශ නොවිය යුතු ප්‍රකාශයකි. උපදේශක පුහුණුකරු විසින් ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට සහ ඔවුන්ගේ කකුලෙන් ඇදීමක් මෙන් පෙනෙන්නට තිබේ. ක්‍රීඩකයන්ගේ අඩුපාඩු හෝ වෙනත් පුහුණුවීම් ඇතැම් ඔවුන්ව නිසි පුහුණුවීම් ලබාදීම සහ උපදෙස් ලබාදීම උපදේශකවරුන්ගේ වගකීමකි. මහේල ජයවර්ධනගෙන්ම උපදෙස් ලබා ගත් කණඩායමේ පරාජය පිලිබදව සහ පරාජය, ක්‍රීඩකයන් වෙත පැවරීමට උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ගන්නාවූ සියුම් උත්සාහය ප්‍රතික්ෂේප කලයුතුවේ. යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායාම ජයග්‍රහණය කලේනම් සියලු දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායාම අගය කරනවා පමණක් නොව ක්‍රීඩා කල නොකළ සියලු දෙනා ලකුණු රැස්කර ගන්නවද ඇත.
මුන්ගේ රස්සාවල් හරියට කරානම් ඉවරයිනෙ
බැරිනම් මහත්තයෝ පුලුවන් කෙනෙකුට දීලා අයින් වෙන්න කෝ.
මොවුන්ව තහනම් කරන්න තිබ්‍රෙණ් මීට කළින්...!
මහේල ජේ, මේ අසාර්ථක බව පිළිගැනීමට කාලයයි. මෙවැනි දුර්වල කණ්ඩායමක් ආරක්ෂා කිරීම අනවශ්‍ය දෙයක්. ලෝක කුසලානය ගෙදර ගෙන නොයාම ගැන කිසිවෙකු ඔබට දොස් නොකියයි, නමුත් කණ්ඩායමේ බලාපොරොත්තු සුන් වූ දස්කම්, විශේෂයෙන් වගකීමක් නොමැති වංක ක්‍රීඩා කිරීම්, ජාතියට අපකීර්තියක් ගෙන දුන්නේය. යොවුන් ක්‍රීඩකයින්ට යම් යම් අවස්ථා සඳහා සුදුසු හැසිරීම්, ඉංග්‍රීසි භාෂාව හැකි හෝ හදාරා නොමැති නම්, සහ තැනට ඔබින භාව ප්‍රකාශයන්(මළගෙවල්වල හිනාවෙන උන් වගේ) නොදනීනම්, මොවුන් මාධ්‍ය ඇමතීමට නොයැවීම නුවණට හුරුය. එය ලැජ්ජ සහගතය. භාෂාව ප්‍රගුණ නොකලත්, බන්ගලියන් සහ පාකිස්තානුවන් ජාම බේරාගෙන හරවත් දේවල් කියන ආකාරය මොවුන්ට පුරුදු කරන්න. ‘කොල්ලෝ හොඳට ක්‍රීඩා කළා’ යැයි නායකයාගේ පුන පුනා කියන විකට කතාව යථාර්ථයට බොහෝ දුරස් ය. එකදිනක් නෙදර්ලන්තයට තලලා ලොරි කතා කිරීම නවත්වන්න. තරුණ ක්‍රීඩකයන් රට වෙනුවෙන් අසීමිත සේවයක් කළා කියා අප රටට දීප්තිමත් අනාගතයක් ඇත කියල එගොඩේ ම ඉන්න තවකෙක් ප්‍රකාශ කිරීම ගොං විහිළුවකි.
තහනම් කරපු එක හොඳයි රටට සෙල්ලම් කරන්න ඔන උන් ඉදිවි සල්ලි පස්සෙ දුවන උන් යනතකට යාවි. අපිට තියෙන දුක මුන්ට නැහැනෙ. එ නිසා නෙමෙද?
මේ කණ්ඩායමෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිනම් මොන කෙන්ගෙඩියකටද විසාල මුදලක් අරගෙන පුහුණු කරන්න බාර ගත්තේ? ඒ කලේ සල්ලි බලාගෙන නේද?
මෙහෙම පුහුණු කරුවෝ /උපදේශකයෝ මන් හිතන්නේ පොල් පිත්තේනුත් කපා ගන්න පුළුවන් , නවසිලන්තේ රචින් රවින්ද්‍ර අවුරදු 23 යි,මැච් 20යි , මෙවර තරඟාවලියේ ශතක 3යි . එකට අපේ ටීම් එකේ ඉන්න කුසල් ල 2 දෙන්න , දිමුත් ,ධනංජය , මැතිවුස් , කසුන් ල දැන් කොයි කාලේ ඉඳන්ද මැච් ගහන්නේ ?එත් මේ තරඟාවලියේ මොනවද කරේ ?
පලමුව කොන්ද පණ තියෙන කතා කරන්න පුලුවන් දැනුමවත් තියෙන නායකයෙක් පාසල් කණ්ඩායමකින්වත් හොයල පත්කර දැන් ඉන්න මෝඩ උද්දච්ච නායක තැන එලවල දාන්න.
අත් දැකීම් අඩු කණ්ඩායමක් ගෙනියන්න කිව්වේ අපිද... ඇයි ඒ වෙනකොටත් හොඳට ක්‍රීඩා කරපු මැතිව්ස් චන්දිමාල් එක්ක තරහක් තියෙනවද... නායකයො දෙන්නෙක් වෙච්ච ඒ දෙන්නාගේ අත්දැකීම් එක්ක මේ නවක කණ්ඩායම යැව්වනම් නරකද... මේ රටේ ක්‍රිකට් මේ තත්වයට ඇදලා දැමීම සම්බන්ධයෙන් මේ සියළුම දෙනා වග කියන්න ඕනේ... වෙන වෙනම පාලකයන් කළමනාකරුවන් අපදේශකයන් පුහුණුකරුවන් කියලා කිව්වට වැඩ කරන්නේ සාමූහිකව නෙවෙයිද... දැන් මොන නම්වලින් කිව්වත් මේවා ආරම්භ කරලා තියෙන්නේ ජනතා බදු මුදලින්.
මහේලගේ කරුණු දැක්වීම අසාර්ථකයි... අපට නැති පහසුකම් අනෙක් කණ්ඩායම් වලට තිබුණා.... විශේෂයෙන්ම ඇෆ්ඝනිස්ථානය. මහේල අසාර්ථක පුහුණුකරුවෙක්...
දැන් මේවා කියන්න එපා ... ආයි සැලරි එකක් අරගෙන ගියා කියන්න...!
එතකොට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නෙදර්ලන්ඩ්, වල ක්‍රීඩකයන්ට ඉන්දියාවේ තණ තීරු හුරු පුරුදු ඒවාද.
එතකොට අපි අෆ්ගනිස්තනයට පැරදුනෙ කොහොමද ? උන්ගෙ පලපුරුද්ද සහ උන්ට තියෙන පහසුකම් මොනවද ?
අර්ජුන හැමදාම කිව්ව දෙයක් තමයි ලංකාවේ ක්‍රිකට් විනාශ කෙරුවේ සංගා සහ මහේල කියලා, ඒක මෙයාගේ කතාවෙන් ඇස් පනාපිටම ඔප්පු වෙනවා.මාසයකට රුපියල් ලක්ෂ හැටක විතර වැටුපක් ලබාගෙන, කූජිත වෙන්න පැරදුනාට පස්සේ අපේ අයට මීට වැඩිය දෙයක් කරන්න බැහැ කියන්න නම් උපදේශක පුහුණුකරුවන්, විශේෂඥ පුහුණුකරුවන් වැනි තනතුරු ඕනම නැහැ. ඔය මොකෙක් නැතුව උනත් කුජිත වෙන්න පැරදිලා එන්න පුළුවන්. දැන් රටට රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ ඉදලා ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයන් දක්වා සියලු දෙනාම ඉවත් කරලා අලුත් කණ්ඩායමකට මුල ඉදන්ම ක්‍රිකට් අලුතින් පටන් අරගෙන කරගෙන යන්න අවස්ථාව සලස්වා දිමයි.
පරාජය වීම ගැටළුවක් නෙවෙයි. පරාජය වූ ආකාරයයි ගැටලුව. තවද අප පසුගිය කාලයේ දිනු තරග ප්‍රතිශතය 50% ක් වුවත්, එම තරග වලින් වැඩි ප්‍රමාණයක් පසුගිය සුදුසුකම් ලැබීමේ තරගවලියෙදේ දෙවන පෙළ කණ්ඩායම් සමග ලද ජයග්‍රහණයන් වේ. එම තරගාවලියේ සිටම අප මැද පෙළ ඉතාමත් දුර්වල තත්වයේ පවතී (නායක දසුන්ද ඇතුළුව) අතර එය තේරීම් කමිටුව හෝ මෙම උපදේශකයන් තේරුම් ගත්තේද යන වග මහජනතාවට ගැටලුවක්ව පවතී. තවද සියල්ල වැරදි ඇති මොහොතක, ඊලග ලෝක කුසලානය සදහා නව කණ්ඩායමක් සැදීම සදහා, දැනට ඉන්න නිලදාරීන් සහ තේරීම් කමිටුවට ඉවත්ව යාමට නීතිය කෙසේ වෙතත්, සදාචාරාත්මක අයිතියක් පවතී.
මහේලයට වැඩ බැරි පොරක් කියල මේ තරඟාවලියෙන් පෙන්නුම් කලා.
එතකොට ඔයාලා ඇයි ලැජ්ජා නැතිව තාම එතැන ඉන්නේ? වහාම ඉල්ලා අස්වෙන්න..
ඔයාට පුහුනු කරු තනතුර හරියන්නෙ නැහැ. ඔයා ලක්ශ 66 ක් පඩි අරන් උගන්වල තමයි එකෙක්ටවත් හරියට බොලයක් දාගන්න බැරි උනෙ, හරියට පන්දුක් රැකගන්න බැරි උනෙ, හරියට විශ්වාසයකින් තරග දෙක තුනක් බැට් කරන්න බැරි උනෙ.
හිතවත් මහේල; 2023 ලෝක කුසලානයට පෙර ඔබ කිව්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හොඳ තත්ත්වයක පවතින බව. අර්ජුන රණතුංග කිව්වා 1996 ලෝක කුසලානය දිනපු ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා වත්මන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම හොඳයි. දැන් ඔබ කියනවා මේ කණ්ඩායම 2023 ලෝක කුසලානයේ දස්කම් දැක්වූ මට්ටමට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා. දෙන්නෙකුට පැහැදිලි කිරීම් ගොඩක් තියෙනවා. කිරීමට.