
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ බැකෝ සහ එක්ස්කැවේටර් වැනි යන්ත්‍රෝපකරණ ක්‍රියාකරවන්නන්ගේ විශාල හිඟයක් තිබෙන බවත් ආරම්භ කර ඇති ව්‍යාපෘති බොහොමයක් නියමිත වේලාවට අවසන් කර ගැනීමට නොහැකි වීමටද පුහුණු ශ්‍රමිකයන් හිඟය බලපා තිබෙන බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ඉහළ නිලධාරියෙක් අප පුවත්පතට පසුගියදා ප්‍රකාශ කළේය.
මෙරට නියමිත වේලාවට අවසන් කර ගැනීමට නොහැකි වී තිබෙන ව්‍යාපෘතිවලින් සියයට 80 ක පමණ ප්‍රතිශතයකට පුහුණු ශ්‍රමිකයන් හිඟය බලපා තිබෙන බවද එම නිලධාරියා පැවැසුවේය. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් තත්වයන්ගෙන් හානිවූ ගොඩනැගිලි යළි අලුත්වැඩියා කිරීම් ආරම්භ වූ පසු පුහුණු ශ්‍රමික හිඟය ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැඩිව බලපානු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
තවමත් ඉදිකිරීම් ක්ෂේත්‍රය යනු කඩා වැටීමට ලක්වූ ක්ෂේත්‍රයක් බවත් පුහුණු ශ්‍රමිකයන් 7000 කට වැඩි පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකාව හැරදමා රැකියා සඳහා විදේශ ගතවී තිබෙන බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය. එසේම මෙරට රාජ්‍ය, පුද්ගලික විශ්ව විද්‍යාලවලින් පිටවන ඉංජිනේරුවන් සහ ප්‍රමාණ සමීක්ෂණ නිලධාරීන් ප්‍රථමයෙන් කරන්නේ රැකියා සඳහා විදේශ ගතවීමට උත්සාහ කිරීම බවත් විශේෂයෙන් පුද්ගලික විශ්ව විද්‍යාලවලින් පිටවන්නන් උපාධියට හෝ උසස් ඩිප්ලෝමාවට වියදම් කළ මුදල සොයා ගැනීම සඳහා විදේශ ගතවීමට උත්සාහ දරන බවත් ඔහු පැවැසුවේය.
මෙරට තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා නිසි ගරුත්වයක් නොමැති වීම ක්ෂේත්‍රයට රැකියා සඳහා පැමිණෙන තරුණයින් වැඩි වශයෙන් විදේශගත වීමට උත්සාහ දැරීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. ප්‍රථමයෙන් මෙරට තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ගරුත්වයක් ඇතිකළ යුතු බවත් අනතුරුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා 20,000ත් 30,000ත් අතර තරුණයින් කණ්ඩායමක් නිර්මාණය කිරිමට ජාතික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් එම නිලධාරියා පැවැසුවේය.
ව්‍යාපෘති සඳහා විදේශීය පුහුණු ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට ඇති හැකියාව පසුගිය නොවැම්බර් 23 වැනිදා සිට රජය අවහිර කර තිබෙන බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් ඉදිරිපත් වුනු ඉල්ලීම් සළකා බැලීමෙන් පසුව එම තහනම ඉවත් කිරීමට රජය සළකා බලමින් සිටින බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ඉහළ නිලධාරියා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd