(යොහාන් භාසුර)

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා බස් ගාස්තුව කාණ්ඩ දෙකක් යටතේ ඉහළ දැමූ බවත් ඒ අනුව කිලෝමීටර 100 කට අඩු කෙටි ගමන් සේවා බස්රථවලට සියයට 12 සහ කිලෝමීටර 100 වැඩි දුරගමන් සේවා බස්රථවලට සියයට 20ක ගාස්තු ඉහළ දැමූ බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (1) පස්වරුවේ පැවසීය.

රුපියල් 30ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ දැමූ බවත් මෙම බස් ගාස්තු ඉහළ දැමීම මේ මස 6 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් මිරැන්ඩා මහතා කීය.

මෙවර බස් ගාස්තු සංශෝධනය සාමාන්‍ය සේවා සහ වායුසමීකරණය කළ බස් ලෙස අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක කළ බව කී මිරැන්ඩා මහතා ඒ අනුව කිලෝමීටර 100 කට අඩු කෙටි ගමන් සේවා වායුසමීකරණය කළ බස්රථවල සියයට 12ක සහ කිලෝමීටර 100 වැඩි දුරගමන් සේවා වායුසමීකරණය කළ බස්රථවල සියයට 15 ක ගාස්තු ඉහළ දැමූ බව ද සඳහන් කළේය.

මෙම බස් ගාස්තු ඉහළ දැමීමට ඊයේ (30) පස්වරුවේ පැවැති කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවිය.

කෙසේ වෙතත් මෙම බස් ගාස්තු සංශෝධනය පිළිබඳව බස් සංගම් නියෝජිතයන් සහ ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (1) පස්වරුවේ ද පැවැත්විණි.