(මනෝප්‍රිය ගුණසේකර)

වසර 10කට පෙර රජයට රුපියල් ලක්‍ෂ 88 1/2ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා ඇති කඩුවේ අධි චෝදනා පත්‍ර බාරදීම සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට ලබන 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවල මහතා සිතාසි නිකුත් කළේය.

පෞද්ගලික සමාගමකට වාසි සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා පනතේ 70 වැනි වගන්තිය යටතේ විග්‍රහ කෙරෙන ‘දුෂණය’ නමැති වරද කිරීම සම්බන්ධයෙන් කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ කටයුතු ආරම්භ කරමින් විනිසුරුවරයා එලෙස සිතාසි නිකුත් කළේය.

2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් සේවය කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් රජයට රුපයිල් 8859708/-ක පාඩුවක් කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.

එමඟින් අල්ලස් හෝ දුෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ විග්‍රහ කෙරෙන ‘දුෂණය’ නමැති වරද කළ බවටද විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.