කරාපිටිය මහ රෝහලේදී පැය දහයක සැත්කමකින් වෙන් කැරැණ දෙබිඩි දරුවන් දෙදෙනාගෙන් ජීවතුන් අතර සිටින දැරිය හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව කරාපිටිය රෝහලේ නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රධානී ළමා රෝග විශේෂඥ වෛද්‍ය කපිලානි විතානආරචිචි මහත්මිය කීයන්නීය.

සැත්කමේදී එම දැරියට ආශ්වාස ප‍්‍රාශ්වාස කිරිමේ පහසුව සඳහා සවිකළ යන්ත‍්‍රය පසුගිය 25 වැනි දින ඉවත් කිරිමෙන් පසු දැරිය සුවසේ ආශ්වාස ප‍්‍රාශ්වාස කරන බවද වෛද්‍ය කපිලානී මහත්මිය පවසන්නීය. පසුගිය මාර්තු මස 11 වැනි දින ගාල්ල මහමෝදර මහ රෝහලේදී සිසේරියන් සැත්කමකින් උපත ලැබූ මෙම දෙබිඩි දැරියන් දෙදෙනා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කරාපිටිය මහ රෝහලට මාරු කිරීමෙන් පසු වෙන් කිරිමේ සැත්කම සිදුකරන තෙක්ම නෙමේරු ළදරු ඒකකයේ ප‍්‍රතිකාර ලදහ.

දෙබිඩි දරුවන් වෙන් කිරිමේදි පරපෝෂිතව ජීවත්වූ දැරිය මිය ගිය අතර මෙම දැරියගේ මව දිනපතා ලබා දෙන මව් කිරි වෛද්‍යවරුන් දැරියට පොවන බව ද වෛද්‍ය කපිලානි මහත්මිය සඳහන්  කරයි.