(අංජුල මහික වීරරත්න)

වී වගා කිරීමෙන් පසුව සති 04ත්, 06ත්  අතර පවතින ගොයම් කහ පැහැ ගැනීම වලක්වා ගැනීම සඳහා බන්ඩි පොහොර හෙවත් MOP පොහොර අනිවාර්යයෙන්ම යෙදිය යුතු යැයි කෘෂිකර්ම පොර්තමේන්තුව පවසයි.

දැනට වාර්තා වී තිබෙන ගොයම් කහ පැහැති වීමට ප්‍රධාන හේතුව පෝෂණ ඌනතාවන් නිසා සිදුවන්නක් බවද කන්න කිහිපයක් නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් නිසි පරිදි වී වගාව සඳහා ක්ෂේත්‍රයට නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 

ගොයම් ගසේ වර්ධනය සඳහා අවශ්‍ය පෝෂණ සංඝඨක නොමැතිවීම නිසා  ඇතැම් ප්‍රදේශවල වී වගාව පෝෂණ ඌනතාවයට ලක්ව තිබෙන බවද  එම නිසා වගා කිරීමෙන් පසුව සති 04ත්, 06ත්, අතර පවතින වී වගාවන් සඳහා බන්ඩි පොහොර යෙදීම මගින් මෙම පෝෂණ ඌනතාවය නිසා ගොයම් කහ පැහැතිවීම වලක්වා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

දැනට සමස්ත වී වගාවෙන් සියයට 10ක පමණ ප්‍රමාණයක ගොයම් කහ පැහැතිවීම දක්නට ලැබෙන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර  කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම සඳහන් කරන පරිදි මෙතෙක් එම සමාගම් විසින් බෙදාහරින බන්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙතෙක් ගොවීන් වීසින් මිල දී ගෙන තිබෙන්නේ සියයට 10ක් පමණ ප්‍රමාණයකි.