( බී .ජී. චතුරංග)
ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු අද (29 ) චීන බෞද්ධ දූත පිරිසක් විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහනසේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම බෙදා දිමට නොහැකි වීම සම්බන්ධයෙන් සංඝ සම්මේලනය ඇතුළු මහා සංඝරත්නයේ දැඩි විරෝධය එල්ල වී තිබේ.
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ මෙසේ පැවසුහ.
අද වෙසක් පෝය දවසේ චීන දේශයෙන් මගේ ඉල්ලීමකට අනුව දහසක් මහා සංඝරත්නය පිරිසක් හට දානය පූජා කරන්න සැලසුම් කරලා තිබෙන වෙලාවක, ඒ අයගෙන් මං ඉල්ලීමක් කළා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා ලංකාව පුරා විසිරිලා ඉන්න වැඩ වෙසෙන මහා සංඝරත්නය උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබා දෙන්න කියා, ඔවුන් එය ලබා දෙන්නට කැමති වුණා ඉන්පසු මා එවන්න කියා සිටියා. ඒවාගේම මෙරට තිබෙන පිරිත් සූත්‍ර එරටට රැගෙන ගොස් නව තාක්ෂණය ඔස්සේ පටිගත කර කැසට් යන්ත්‍ර අද මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට බෙදා දෙන්න සූදානම් කර තිබුණා.
ඉතින් මේ ලිපි ලේඛන ඔක්කොම අරගෙන ගිහින් කතාබහ කරලා බැලුවට පස්සේ චක්‍රලේඛයක් කියලා එකක් ඉදිරිපත් කළා, ඉතින් මේ චක්‍රලේඛයෙන් කියන්නේ බුදු පිළිම නිදහස් කරන්න බෑ කියලා. මේවාට ලක්ෂ තිස් දෙකක්, මිලියන තුනක් ඉල්ලුවා බදු, ඉතින් මේ චීනෙන් ආපු දූත පිරිසත් බොහොම කණගාටුවට පත් වුණා මේ වගේ අවාසනාවන්ත තත්වයක් මේ ලංකාවෙ තියෙන්නෙ කියලා. ඒ අය මේ රටේ විතරක් නෙවේ ඉන්දියාව, භූතානය, නේපාලය මෙවැනි ප්‍රතිමා පූජා කර තිබෙනවා. ඒ රටවල මෙවැනි භයානක තත්වයකට මුහුණ දී නොමැති බවයි එම දූත පිරිස පැවසුවේ. ඒ අයගේ හදවත් කම්පා වුණා මේ පුවත ඇහුවට පස්සේ.
ඉතින් අද මේ ලෝකෙම වෙසක් මංගල්‍යය සමරනවා. ඒ වගේම අපේ රටේත් සමරනවා. ජනාධිපති අගමැති එක තැනකට වෙලා වෙසක් උත්සවය සමරනවා. ඉතින් මෙය හදවතට එකඟවද මේ වගේ දේවල් කරන්නේ, ලෝකය රවට්ටන්නද, ලංකාවේ මිනිස්සු රවට්ටන්නද මේවා කරන්නේ. මම කියනවා
කතිරයෙන් දිනලා පාර්ලිමේන්තුවට යන අයගේ වාහන වලටත් මේ බද්ද ගහන්න ඕනේ කියලා, තවත් මංකොල්ල කන ඒවා බොහොම රාශියක් තිබෙනවා, ඒවාට චක්‍රලේඛන නැද්ද? හොරෙන් මංකොල්ල කෑවේ කොහොමද කියලා තමයි අපි අහන්නේ.
වැඩමවන ලද සංඝයාවහන්සේ දහස් නමක් පමණ මෙම ස්ථානයේ වැඩසිටිනවා. උන්වහන්සේලාගේ බලවත් විරෝධය රජයට පළකර සිටිනවා මෙවැනි අදූරදර්ශී නායකයන් රටට උවමනා නෑ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියෝ මෙසේ කීහ.
අද මේ වෙසක් දිනයේ ඓතිහාසික මිහින්තලා පුදබිම තුළ චීන දානපතියන් විසින් බෙදා දීමට නියමිත බුද්ධ ප්‍රතිමා, සෑම විහාරස්ථානයකටම පරිත්‍යාග කිරීමට, මිහින්තලා රජමහා විහාරාධිපති අති ගෞරවනීය ධම්මරතන නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විධිවිධාන යොදා තිබුණා.
ඉතින් බෞද්ධ රටක් වන මේ ශ්‍රී ලංකාදීපයේ රටේ බෞද්ධ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, ඉන්න මේ බෞද්ධ දීපයේ, හැම තැනම ජාතික වෙසක් උත්සවය සමරන මේ උත්තරීතර අවස්ථාවේ දී ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලාට ලක්ෂ 32ක පමණ බදු මුදලක්, අය කරන්න රජය තීරණය කර තිබෙනවා. ඒ නිසා අද බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිදහස් කිරීමට හැකියාවක් ලැබී නැහැ.
අද මෙතන ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල පිරිවෙන්වලින්, විද්‍යායතන වලින්, පන්සල් වලින් වැඩම කළ හාමුදුරුවන් වහන්සේලා සිටිනවා. උන් වහන්සේලා සියලු දෙනාමත්, මේ රැස්ව සිටින බෞද්ධ මහජනතාවත් අපිත් දැඩි සේ විරෝධය පලකර සිටිනවා, බෞද්ධ රටක මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිද්ධ වෙනවා නම් එය හෙළා දැකිය යුතු කාරණයක්, මොකද බුදු පිළිම ගෙන්නන්නේ, වෙළඳාමට නොවෙයි. බුදුන්ට වන්දනාමාන කිරීමටයි. අසරණ හාමුදුරුවරුන්ට දුප්පත් හාමුදුරුවරුන්ට පන්සල්වලට මේ වෙසක් පොහෝ දවසේ ඒ පිළිම වහන්සේලා බෙදාදීමට තමයි චීන බෞද්ධ පිරිස සූදානම් වෙලා සිටියේ.
ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වෙල ශාසන රතන, හිමියයෝ මෙසේ පැවසුහ.
අද වෙසක් පුන් පොහෝදා ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉමහත් ආධ්‍යාත්මික මානසික සුවක් ලබා දෙන දවසක්. අපට එක පැත්තකින් දිස්වෙන්නේ එදා ලොව්තුරා අමාමෑණි බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මේ උතුම් පුණ්‍ය භූමියට වැඩමවාගෙන ආ ඓතිහාසික මිහින්තලේ ස්ථානයයි.
ගෞරවනීය ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ උතුම් පුණ්‍ය භූමිය තුළ සිදු කෙරෙන පළමු පින්කම නොවේ මෙය.
චීන බෞද්ධ ජනතාව ඒක රාශි කරගෙන නිසි කළමනාකාරිත්වයක් ඇතිව ඉතාමත් ආධ්‍යාත්මිකව මේ උතුම් පින්කම කරනවා මෙතැනට වැඩම කර වදාළ සිටින සියලුම ස්වාමීන් වහන්සේලා අතරින් 90% පමණ උතුරු මැද පළාතෙ දුෂ්කර ප්‍රදේශවල වැඩසිටින ස්වාමින්වහන්සේලා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම බද්ද බුදු පිළිම සඳහාද, නැතිනම් චිනයෙන් ගේන සීඩී යන්ත්‍ර සහ ශබ්ද විකාශන යන්ත්‍ර 1000 සඳහාද?
බුදු පිළිම සඳහා වෙනම නීතියක් නැත. රටට අයවිය යුතු බදු ගෙවිය නොහැකිනම් නොකර සිටිය යුතුයි. මේ රටට කෙලවෙලා තියෙන එක හේතුවක් තමයි හාමුදුරුවන්ට විශේෂ සැලකිලි කිරීම...
මේවා බුදුපිළිම වලට මුවා වෙලා කරන බිස්නස්. ලංකාවේ සූත්‍ර චීනයට ගෙනිහින් නව තාක්ෂණයට පටිගත කළාලු. ලංකාවේ ඉතාම දියුණු පටිගත කිරීමේ යන්ත්‍ර සූත්‍ර තියෙද්දි ඇයි චීනයට ගියේ..? ලංකාවේ බුදු පිළිම හදන්න බැරි අයද ඉන්නේ..? ඉස්සර ලංකාවෙන් ෆයිබර්වලින් තැනූ බුදු පිළිම පිටරටත් යැව්වා නේද?
රාමසාන් කාලෙට අරාබියෙන් එන රටඉඳි නම් ටැක්ස් ෆ්‍රී...
බුදු පිළිම, කැසට් බෙදනවාට වඩා ගොඩාක් දෙවල් කරන්නට තියනවා. දුෂ්කර පළාත්වල ඉන්නා වූ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය දානය, සුදුසු අවාස, ජලය, වැසිකිළි පහසුකම්, අධ්‍යාපනය වගේ දේවල් සැපයීමයි කළයුතු වන්නේ. කන්න නැතිව ඉන්නා කෙනාට වටිනා මාලයක් කරට දැම්මාට ඵලක් නොවේ. මේ ස්වාමීන් වහන්සේලා රැකුනේ නැතිනම් වෙනත් බාහිර අයට දොස්කියලා වැඩකුත් නැත.
මෙන්න අබෞද්ධයින් දාන කොමෙන්ට්ස් !!!
මේවා බෞද්ධ අයගේ කොමෙන්ට් නොවෙයි. හරිම කණගාටුයි. අද මට වෙසක් එකට මුස්ලිම් අයත් සුබ පතලා එවලා තිබුණා. ඔවුන් එය අයකිරීමකින් තොරව දීල තියනවා නම් එය විශේෂ ක්‍රමවේදයකින් නිදහස් කළ යුතුයි. එසේත් නැත්නම් ජනපති හෝ අගමැති විශේෂ ප්‍රකාශ කල යුතුයි. ලංකාවේ තිබෙන නීති පද්ධතියත් අක්ක අමාරුයි කියලා. සමාවෙන්න සිංහල අඩුපාඩු වලට...
මෙතනදී පළමුවෙන්ම දැනගත යුතුයි ගෙනාවේ බුදුපිළිම විතරද කියන එක. මම බෞද්ධයෙක් හැබැයි බුදු පිළිම වලට බද්දක් ගහනවානම් වැරදී මොකද බුදුපිළිම ගේන්නේ බෞද්ධ ආගම වැඩි දියුණු කිරීම උදෙසානේ නමුත් මට කියන්න දෙයක් තියනවා ලංකාවේ බුදු පිළිම වහන්සේලා තරම් අනෙක් රටවල බුදුපිළිම වහන්සේලා රුව වෙනස් අපේ රටේ පෞරාණික පිළිම වහන්සේලාට වඩා වෙනස් රුව ගන්න බුදු පිළිම තැනීම හා ආනයනයට විකිණීම යන සියල්ලට මම තදින්ම කෙලින්ම විරුද්ධයි. තවද ලංකාවේ මෙතරම් පිළිම නෙලන ස්ථාන තිබියෙදී මොකටද රටින් ගේන්නේ මේවා මිලට ගන්න ප්‍රවාහනය කරන්න යන මුළු වියදම බැලුවම රටේ ආයතන මගින් මේවා ලංකාවේ ආරයට අනුව නිපදවූවානම් බුදු පිළිම 2000 3000 විතර ගන්න තිබුන මට හැගෙන හැටියට මොකක් හෝ යටි තේරුමක් තියනවා මෙතන
මගේ රටට දළදා හිමි සරණයි !!
මොනවා වුනත් පන්සලකට හෝ පොදු දෙයකට නොමිලේ ලැබේන දේවලට බදු අයකරනව නම් රජය ඉතා නින්දිත ක්‍රියාවක් ලෙස සලකන්න පුළුවන්. වෙසක් සතියක මේ පින් බිමේ මෙවැනි දැ අසීමටත් අපි පව් කරල තියෙනවා.
මේ ශ්‍රී ලංකාවේ ඉතා මනරම් අන්දමින් බුදු පිළිම නිර්මාණ කරන අපේම ශිල්පීන් කොතෙකුත් ඉන්නවාද? චීනෙන් මොකටද බුදු පිළිම ගෙන්නන්නේ?
මෙතන වෙලා තියෙන්නේ සම්බන්ධීකරණ ගැටළුවක් බවයි පේන්නේ. මෙවැනි කටයුත්තක් සඳහා බදු සහන අවශ්‍ය නම් කලින් අයැදුම් නොකර දැන් චෝදනා කරලා වැඩක් නෑ.
බුදු පිළිම වගේම දුෂ්කර පන්සල් වල වැඩ වෙසෙන පුජ්‍ය පක්ෂයට අත්‍යාවශ්‍ය සිවුපසයෙන් සංග්‍රහ කිරීමත් වැදගත් නේද. වාහන වලින් යන එන , වටිනා පුජ්‍යභාණ්ඩ පමණක් පිළිගන්න හාමුදුරුවරුන් අතරේ මහා දුෂ්කරක්‍රියා කර නිර්මල බුද්ධ ධර්මය රක්ෂා කරන සංඝ රත්නය ගැන අපි මීට වැඩිය සිතිය යුතුයි. අඩු ගානේ උන් වහන්සේලාට දානේ වේල ලැබෙනවාද , මහා අනතුරුදායකයක දුෂ්කර ප්‍රදේශ වල භාවනා කරන්න සුදුසු තැනක් තිබේද වත් නොසොයා , අත්‍යාවශ්‍ය නොවන කරුණු වලට පමණක් හඬ නගා වැඩක් නැහැ. ගෙදර කෙනෙකුට කිවිසුමක් ගියත් පවතින ආණ්ඩුවට දොස් කියන ශ්‍රී ලාංකික පුරුද්ද නවත්තලා , පුද්ගලික මට්ටමින් ශාසන දියුණුවට හැකි පමණින් දායක වෙන එක හොඳයි නේද?
ආණ්ඩුවට එදා වේල කන්න සල්ලි නැහැ. පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කරලම මහාභාන්ධගාරයම ඉවරයි. තව ටික දවසක් යනකොට ඇඳගෙන ඉන්න අමුඩෙන් පවා බදු ගනියි. වහාම බදු රහිත වාහන පර්මිට් නැවැත්විය යුතුයි.
බුදු හාමුදුරුවෝ මිහිදු හාමුදුරුවෝ මේ රජය කාලේ ලංකාවට වැඩම කලා නම් බද්දක් ගහනවා.
වෙන ආගමකට සම්බන්ධ දෙයක් ගෙනත් බදු මුදල් අයකරන්න ගියානම් එම ආගම අදහන ඇමති වරයෙක් ඉදිරි පත්වෙලා කතා කරලා බදු සහනය අරන් දෙනවා. අපිට එහෙම බෞද්ධ ඇමතිලා නැනේ.
බුදු පිළිම වුනත් වෙනත් පිළිම වුනත් නීතිය නීතියමයි. හැරත් මේ රටේ බුදු පිළිම හිගයක් තිබෙනවද. සැබෑ බෞද්ධයන් නම් බොහොම හිගය. වැඩියෙන් ඉන්නේ `සිංහයා ලකුණ දරන ` ව්‍යාජ ලේබල් සහිත බෞද්ධයෝ.
ලංකාවෙ බුදු පිළිම අඹන අය ඕනතරම් ඉන්නවා. ඕනෑම විදික පිලිම අඹන අය ඕනතරම් ඉන්නවා. මේව බිස්නස් එකක්. අපේ ඕනතරම් දුෂ්කර පන්සල් තියෙනවා. අරමුදලක් හදල ඔය ආධාරත් අරන් දුෂ්කර පන්සල් හදමු. පන්සලකට බුදු පිළිමයක් දෙන්න පුළුවන් බෞද්ධයන් ඕනතරම් ඉන්නවා.
ඔය බුදු පිළිම ටික පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගේ නමින් එක්කෙනෙකුට 5 ගානේ ගෙන්න බෙදල දුන්නා නම් බදුත් නැතුව නියමෙට වරායෙන් එලියට එයි.. සුකොපභෝගී වාහන බදු නැතුව ගෙනල්ල දෙන එකේ මේවා මොනවද. රට පාලනය කරන්නේ බෞද්ධ යන් නොවන බව මොනවට පැහැදිලියි. පත්තරෙන් වත් දැකලා බදු වලින් නිදහස් කරයිද දන්නේ නැහැ.
දහසක් මහා සංඝරත්නය පිරිසක් හට දානය පූජා කරන්න සැලසුම් කරලා තිබෙන එක ප්‍රශ්නයක් නොවෙයි. ඒත් මහා සංඝරත්නය උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබා දෙන්න හේතුව මොකද්ද?
උන්නාන්සේලා තාම තේරුම් අරගෙන නැහැ වැඩවසම් යුගය ඉවරයි කියලා. රටේ නීතිය කාටත් පොදුයි! මේවගේ දේවල් පරිත්‍යාග විදියට ගෙන්න ගන්න ක්‍රමවේදයක් තියෙනවා. නමුත් එහෙම නොකරන්නේ අරමුණ වෙනස් නිසා.
වැඩ කරන අයට ප්‍රයෝගික තීරණ ගන්න බලය තියෙනවා. බදු ගහන්නේ නැතිව පගාවට පන්නන දේවල් ඕනේ තරම් තියෙනවා.
මෙතන වෙලා තියෙන්නේ comment කරන අය තේරුම් ගත් විදිය, මෙය චීන දූත පිරිසකගේ ආධාර කියලා තියෙනවා නේද.?
අනිවාර්යයෙන්ම බදු ගහන්න ඕන. නැත්නම් ලංකාවේ බුදු පිළිම හදන මිනිස්සුන්ට අබ සරණයි...
ආගමික සිද්ධස්ථාන වලට (ඕනෑම ආගමක) ආනයනය කරන පිළිම ඇතුලු පූජනීය වස්තූන්ට අදාල රේගු බදු (Customs Duty) නිදහස් කර ගන්න පුළුවන්. ඒ සඳහා නිත්‍යානුකුලව ප්‍රතිපාදන ඇත. හැබැයී ඒකට නියමිත පරිදි අවසරය ලබා ගත යුතුයි. ඒ උනත් මේ පිළිම ඇතුලත විදුලි උපකරණය තිබුනා නම් ඒකට බදු නිදහස් කරන්න බැහැ. ඒ විස්තර මෙම ලිපියේ දක්වා නැත.
ලගදීම අපි වෙන ආගමක් කරා යන බව හැගෙන්නේ නැද්ද? දැන් දැන් බුද්ධාගම ලංකාවෙන් තුරන් කිරීමට යම් යම් පිරිස් වෙර අදින්නේ තවත් අයගේ මුදලටද?
ඇයි බදු සහන නෙදෙන්නේ? රජය වගකිවයුතුයි කරන හැම වැඩකටම.
දෙෂ්පාලක්ඥයන්ගේ වාහනවලට බදු නැත. එහි රජයට පාඩුව බිලියන ගණනකි. බුදු පිළිම ගෙන්වීමට බදු ඇත. ලොව එකම ථෙරවාදී බෞද්ධ රටේ ජනපති සහ අගමැති නිහඩය. සමහරවිට සංහිදියාවට ප්‍රශ්නයක්වෙයි කියලද නොදනී.
චීනෙන් මොකටද බුදු පිළිම ගෙන්නන්නේ? ඉන්දියාවෙන් බුද්දාගම ගෙන එන්න හොඳයි චීනෙන් බුදුපිළිම ගෙනෙන්න හොඳ නැහැ. චීන අජීරණයක් ද කොහෙද.
සම්පත් මහතා නිවැරදි නැත. මේ පිළිබඳව නිවැරදි කරුණු අදාල පාර්ශ්ව විසින් වහාම රටට හෙලි කල යුතුය.
වෙසක් පෝයට හම්බවෙන දානේටත් බදු ගහන අරුම පුදුම බෞද්ධ රටක් මේක.
රටේ සියලු බෞද්ධයාට එක බුද්ධ පිළිමය පිළිමය බැගින් ලබා දීම බුද්ධ සාසන අමාත්‍යංශයේ යුතුකමකි. මක් නිසාදයත් එවිට හැම කෙනෙකුටම හිතේ හැටියට, ඕනෑම වෙලාවක බුදුන් වඳින්නට පුළුවන් වන බැවිනි. මනාපය පරිදි බෝධිපුජා පැවැත්වීම පිණිස එක පවුලකට එක බෝධීන් වහන්සේ බැගින් වවා ගැනීමට ප්‍රමාණවත් බිම් කැබැල්ලක්ද ලබා දෙන්නේ නම් වඩාත් හොඳය.
ආගමික සිද්ධස්ථාන වලට (ඕනෑම ආගමක) ආනයනය කරන පිළිම ඇතුලු පූජනීය වස්තූන්ට අදාල රේගු බදු (Customs Duty) නිදහස් කර ගන්න පුළුවන්. ඒ සඳහා නිත්‍යානුකුලව ප්‍රතිපාදන ඇත. හැබැයී ඒකට නියමිත පරිදි අවසරය ලබා ගත යුතුයි. ඒ උනත් මේ පිළිම ඇතුලත විදුලි උපකරණය තිබුනා නම් ඒකට බදු නිදහස් කරන්න බැහැ.
මේක නම් ඔය මුලික වෙලා වැඩ කරන අයගේ වෙළඳ ව්‍යාපාරයක්. අනික ඔය පන්සල්වල පිළිම ඇත්තෙම නැද්ද. ලංකාවේ ඕනෑම කුඩා පන්සලකත් පිළිමයක් තියෙනවා. අර කිව්ව වගේ අපේ කලාකාරයෝ තමා එදා ඉදල අපේ පිළිම හැදුවේ. මොකටද චීන්නු අල්ලගන්නේ මේකට.