(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
එකම ගමේ පදිංචි කුළුපග මිතුරා බේකරිය තුළදී ඝාතනය කිරීමට යොදාගත් උල් පිහිය වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ අතහැර දමන ලද වැසිකිළි වළක සඟවා වසරක් තිස්සේ සැඟවී සිටි පුද්ගලයකු නුගේගොඩ බේකරියක සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ පස්සර මඩෝල්සිම පදිංචිව සිටි මයිල්වානගම් ජේ කුමාර් නොහොත් නිශාන්ත එම 38 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ බේකරි බාස්වරයකු ලෙස වසර කීපයක සිට සේවය කර ඇති අතර රැකියාවක් නොමැතිව සිටි සිය මිතුරාට එම ස්ථානයේම රැකියාවක් ලබාදීමට බේකරි හිමියා කැමති කරවා ගෙන තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේදී සැකකරු එම බේකරියේ සේවයට පැමිණ ඇති අතර දෙදෙනාම එහි සේවය කරමින් සිට ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී ඇත.
සැකකාර පුද්ගලයා බේකරි හිමිකරුගේ හිතදිනාගෙන මියගිය පුද්ගලයාට වඩා හොඳින් සේවය කිරීම සම්බන්ධයෙන් මාස කීපයක් ඉක්ම යාමේදී මිතුරන් දෙදෙනා අතර අතර යම් ආරවුලක් හටගෙන තිබූ බව පොලිසිය කියයි.
එය නොරිස්සූ ඝාතනයට ලක්වූ පුද්ගලයා බේකරි හිමිකරුට කේලාම් පවසා සැකකරුගේ සේවය නැවැත්වීමට කටයුතු කර තිබූ අතර බේකරියේ දෙදෙනකුට කිරීමට තරම් වැඩ නොමැති බැවින් සිංහල අවුරුද්දෙන් පසු සේවයට නොපැමිණෙන ලෙස බේකරි හිමිකරු සැකකරුට පවසා තිබූ බව පොලිසිය කියයි.
එය ඇසීමත් සමගම කෝපයට පත් සැකකාර පුද්ගලයා කිසිදු දෙයක් නොපවසා බේකරියෙන් පිටවී සිය ගමට ගොස් දින කීපයකට පසු එනම් අප්‍රේල් 22 දින දහවල් එකවරම බේකරිය වෙත පැමිණ මිතුරාට තර්ජනය කරමින් " මට රස්සාව නැතිකළ උඹටත් මේ රස්සාව කරන්න දෙන්න මම ඉඩ දෙන්නේ නැහැ උඹව මම මරනවා" යැයි තර්ජනය කරමින් පිටවී ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එදිනම අළුයම එකට පමණ තාප්පයෙන් පැන බේකරිය තුළට කඩා වැදී තිබූ සැකකරු වැඩ නිමවී පුටුවක් මත තේ පානය කරමින් සිටි සිය මිතුරා වෙත උල් පිහියක් අමෝරාගෙන දිවවිත් ඔහු පුටුව මත සිටියදීම පපුවට සහ උරහිසට පීහි පාරවල් කීපයක් එල්ල කර එම ස්ථානයෙන් පළා ගොස් තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව ඔහු කලින් සේවය කරන ලද වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ බේකරි හිමියා හමුවට ගොස් ඔහුට ලබා ගැනීමට තිබෙන මුදල් ඉල්ලාගෙන ,ඝාතනයට යොදාගත් උල් පිහිය බේකරිය පිටුපසක් අතහැර දමන ලද වැසිකිළිවලට විසිකර ලේ තැවරුණු කමිසය ද ගලවා දමා මුහුණ කට සෝදා ගෙන එම ස්ථානයෙන් පිටවී ගොස් තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර විශ්ව විද්‍යාල සිසුවිය මැරුවේත් වැල්ලම්පිටියේ සිසුවෙක්... වැල්ලම්පිටිය මනුෂ්‍ය ඝාතනවලට ප්‍රසිද්ධද කොහේද?