IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


බැක්ටීරියාවක් තව ලෙඩක් දමයි

පසේ හා ජලයේ බැක්ටීරියාවක් මගින් බෝවෙන වියට්නාම් කාල බෝම්බය හෙවත් මෙලියොයිඩෝසිස් රෝගය ශ්‍රී ලංකාවේ කිහිප දෙනකුට වැළඳී ඇතැයි මහනුවර රෝහලේ ක්ෂුද්‍ර ජීව ඒකකයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය මුදිත අබේකෝන් පවසයි. 2003 වර්ෂයේ පටන් මේ රෝගයට ගොදුරුවූ කිහිප දෙනකු ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වී ඇතත් මාසයකදී මහනුවර රෝහලෙන් පමණක් රෝගීන් හතරදෙනකු වාර්තා වී ඉන් දෙදෙනක් (සෙබළෙක් හා ගොවියෙක්) මරුමුවට පත්වූහ. 1912 වර්ෂයේ ලෝකයේ මුල්වරට මේ රෝගය වාර්තා වී තිබේ. බක්හෝල්ඬේරියා සියුඩෝවාලේයි නම් බැක්ටීරියාවක් ශරීරගතවීමෙන් මේ රෝගය හටගනී. වියට්නාම් යුද්ධයට සහභාගී වූ ඇමරිකා සෙබළු 300 ට වැඩි පිරිසක් 1973 හදිසියේම රෝගාතුරවී මිය යාමත් සමගම ඒ පිළිබඳ පර්යේෂණ කළ ඇමරිකා විශේෂඥයින් කියා සිටියේ මෙලියොයිඩෝසිස් නැමැති රෝගය හේතුවෙන් ඔවුන් මිය යන බවයි. එම රෝග කාරක බැක්ටීරියාව වියට්නාමයේදී සෙබළුන්ගේ ශරිරයට ඇතුළු වී වසර කිහිපයකට පසු ඔවුන් රෝගාතුරවූ බවද පර්යේෂණ වලින් තහවුරු විය. එතැන් පටන් මෙම රෝගය වියට්නාම් කාල බෝම්බය යනුවෙන් ව්‍යවහාර වන්නට විය. ඉන් පෙර ඉන්දු චීන දේශසීමාවේ සටන් සඳහා පැමිණි ප‍්‍රංශ සෙබළු සියයකට අධික සංඛ්‍යාවක් ද මේ රෝගයට ගොදුරුව තිබිණි. ඒ අනුව ලොව පුරා පර්යේෂකයන් පවසන්නේ යුද්ධය හා මේ රෝගය අතර යම් සම්බන්ධයක් තිබිය හැකි බවයි. වෛද්‍ය අබේකෝන් මහතා මෙසේ කීවේය. අපි දන්නා තරමින් මේ බැක්ටීරියාව පසෙහි සහ ජලයේ ජීවත් වනවා. දැනට ලෝකයේ සිදුවූ පර්යේෂණ අනුව යුද්ධයක් පවතින අවස්ථාවේ විශාල ප‍්‍රමාණයෙන් බෝම්බ වැටීම සමග පස කැළඹී දුහුවිලි වළාවන් හටගන්නවා. එවිට පසෙහි සිටින මේ බැක්ටීරියා යුද සෙබළුන්ගේ ශරීරගතවිය හැකියි. ඒ වගේම කෘෂිකාර්මික ප‍්‍රදේශයේදී ජලය සමග ශරීරගත වනවා. ඔහු පවසන්නේ යුද්ධයක් පැවති කෘෂිකාර්මික රටක් වන ශී‍්‍ර ලංකාවේ වියට්නාම් කාල බෝම්බය නමැති මේ රෝගය පැතිරයාමේ අවධානමක් පවතින බවයි. පසුගිය මාසයක කාලයේදී මහනුවර රෝහලින් පමණක් එවැනි රෝගීන් හතර දෙනකු වාර්තාවී ඇති බැවින් රෝගය පිළිබඳ සියළු ප‍්‍රදේශවල වෛද්‍යවරු අවධානයෙන් පසුවිය යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි. අග්නිදිග ආසියාවේ ඇතැම් ප‍්‍රදේශ, චීනය,  ඕස්ටේ‍්‍රලියාව කැරිබියන් දූපත්, දකුණු ඇමරිකාව, සිංගප්පූරුව, තායිවානය, මැද පෙරදිග රටවල් මෙම බැක්ටීරියාවේ නිජ භූමි වූ අතර , බටහිර අපි‍්‍රකානු රටවල්, ඇමරිකා එක්සත් ජනපදය, දකුණු ඇමරිකාව, යුරෝපය සහ ඉන්දියාව යන රටවලට ජන සංක‍්‍රමණයත් සමග රෝග කාරක බැක්ටීරියාව ඇතුළුවී තිබෙන බව පර්යේෂණ වලින් තහවුරු වී තිබේ. වෛද්‍ය අබේකෝන් පවසන්නේ බැක්ටීරියාව ශරීරගත වී පැය විසිහතරේ සිට වසර කිහිපයක් දක්වා කාලයේදී මෙය ශරීරය ආසාදනයට ලක්කරන බවයි. දිගින් දිගටම පවතින තද උණ, තදබල කැස්ස සහ නොනවතින තද බල හිසරදය මෙහි රෝග ලක්ෂණ වන බව ද වෛද්‍යවරයා පවසයි. ”මෙහි තිබෙන භයානකම තත්ත්වය තමයි අක්මාව, ප්ලීහාව සහ වකුගඩු ආසාදනය වී සැරව ගෙඩි හටගැනීම. උණ ඇතිවී මාසයක විතර කාලයක් ඇතුළත මෙය සිදුවිය හැකියි. සැරව ගෙඩි හටගැනීමෙන් රුධිරයට විෂ බීජ ඇතුළු වී රෝගියා මරණයට පත්වනවා.” මහනුවර රෝහලේ ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය පංකජා කළුකෝට්ටගේ මහත්මිය මෙසේ කීවාය. ”මේ රෝගය පිළිබඳ විශාල වශයෙන් බිය විය යුතු නැහැ. එහි ඉතිහාසය පිරික්සා බැලීමේදී තරුණයන් මෙයට ගොදුරුවීමේ ප‍්‍රවණතාවක් තිබෙනවා. රෝගය සඳහා නිසි ප‍්‍රතිකාර ක‍්‍රමයක් තිබෙන නිසා මාරාන්තික රෝගයක් වුවත් සුවකැරගන්න පුළුවන්. අවශ්‍ය වන්නේ දිගින් දිගටම පවතින තදබල උණ සහ හිසරදය වගේම පපුවේ වෙදනාවත් තිබේනම් වෛද්‍යවරයකු හමුවී ඉක්මණින් ප‍්‍රතිකාර ගැනීමයි. ප‍්‍රතිකාරවලට යොමුවිම පමා වුවහොත් භයානක තත්ත්වයකට ගොදුරු වීමට ඉඩ තිබෙනවා” රෝගියකුගෙන් තවත් රෝගියකුට හෝ සතකුගෙන් මිනිසාට හෝ බෝ නොවන මේ රෝගයට ශී‍්‍ර ලංකාවේ ජනතාව ගොදුරුවීමේ අවදානමක් ඇති බැවින් වෛද්‍යවරුන් පවසන්නේ යුද්ධයට සහභාගී වූ සෙබළුන් කෙරෙහි වැඩි අවධානයකින් පසුවීම  කළ යුතු බවයි.



අදහස් (0)

බැක්ටීරියාවක් තව ලෙඩක් දමයි

ලෙස්ලි Friday, 16 December 2011 01:47 AM

අපේ වීරයෝ...

:       0       0

සම්පත්.DQ Friday, 16 December 2011 07:24 PM

අලි මදිවට හරක් කිව්වලු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site