(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතින් ලබාගත් වෛද්‍ය සැපයීම් සඳහා 2008 - 2023 කාල සීමාවට අදාලව නිරවුල් නොකළ ගෙවීම් නිරවුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වෛද්‍ය සැපයීම් අංශය විසින් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අවශ්‍ය ඖෂධ හා අනෙකුත් වෛද්‍ය සැපයීම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හා දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගෙන ගබඩා කර බෙදාහැරීම සිදු කරනු ලැබේ. එම මිල දී ගැනීම සඳහා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත වාර්ෂිකව ඖෂධ සඳහා මහා භාණ්ඩාගාරය විසින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන මඟින් 2023-12-31 දින දක්වා ගෙවීම් සිදු කරනු ලැබ ඇති නමුත්, 2008 සිට 2023 දක්වා කාල සීමාවට අදාළව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත තවදුරටත් නිරවුල් කළ යුතු රුපියල් බිලියන 32.92 ක මුදලක් පවතින බවට එම සංස්ථාව විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත අවස්ථා ගණනාවකදී දැනුම් දී තිබේ. 2026 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු පිළිබඳව  ජනාධිපතිවරයාගේ  ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම කරුණ පැන නැගී ඇති අතර, එහිදී ලබා දෙන ලද උපදෙස් අනුව, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් නිරවුල් කළ යුතුව පවතින ගෙවීම් පිළිබඳව කරුණු අධ්‍යයනය කර ඇත.

ඒ අනුව, 2018-01-01 දින සිට 2023-12-31 දින දක්වා රුපියල් බිලියන 23.87 ක් ගෙවිය යුතු බවට තහවුරු වී ඇත. එසේම, 2008-01-01 දින සිට 2017-12-31 දින දක්වා නිරවුල් කළ යුතු මුදල තවදුරටත් ගණනය කරමින් පවතී. ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින් 2018-01-01 දින සිට 2023-12-31 දින දක්වා වන කාලසීමාව වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියන 23.87 ක මුදල මෙම වර්ෂය තුළ අදියරගතව ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය  ලබා දෙන ලදී.