(කේෂර ගුණතිලක)

බුත්තල දුටුගැමුණු ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟයට තවත් ළමුන් කිහිප දෙනෙකු සමඟ පුහුණු වෙමින් සිටි ශිෂ්‍යයෙකු දුවමින් සිටියදී බිම ඇද වැටී රෝහල් ගත කිරීමෙන් අනතුරුව අද (11) උදෑසන මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බුත්තල දුටුගැමුණු ජාතික පාසලේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බුත්තල බඩල්කුඹුර පාර වෙහෙරගොඩ බෝගහඇල්ල පදිංචි ඩී.එම් මලීෂ සඳකැලුම් (15) නැමති ශිෂ්‍යයෙකි.

මෙම ශිෂ්‍යයා තවත් ළමුන් පිරිසක් සමඟ බුත්තල බඩල්කුඹුර මාර්ගයේ කටුගහකොළණිය වැව අසල සිට තවත් ළමුන් කිහිප දෙනෙකු සමඟ බුත්තල දෙසට දුවමින් සිටියදී එකවරම බිම ඇද වැටී තිබේ.

ඔහු බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මියගිය දරුවාගේ මරණය පිළිබඳ පරීක්ෂණය අද (11) වෙනිදා පැවැත්වීමට නියමිතව තිබිණි. බුත්තල පොලීසිය පරීක්ෂණ පවත්වයි.