(සුජිත් හේවාජුලිගේ)

සියලුම විශ්ව විද්‍යාලවලට ළමයින් එකම දිනයකදී බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

විශ්ව විද්‍යාලවලට ළමයින් බදවා ගැනීමේදී ඇතිවන අවුල් මෙමගින් වැළකෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙයට අමතරව උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවලට ලියාපදිංචිවීම එකම කවුළුවකින් කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

උසස් අධ්‍යාපන ආයතනවලට ලියාපදිංචි වීමේදී මතුවන ගැටලු නිරාකරණය කිරීම මෙහි අරමුණයි.

දැන් තිබෙන තත්වය යටතේ, සමහර ළමයින් උසස් අධ්‍යාපන ආයතන දෙකකට එකවර අයදුම් කිරීමෙන් සමහර අවස්ථාවල විවිධ හේතු මත එම ආයතන දෙකම අහිමිවන අවස්ථා පවතින බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදීද මෙම කාරණය ගැන විශේෂ අවධානය යොමු කෙරුණු බව මධුර සෙනවිරත්න මහතා පැවසීය.