(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය සේවකයන්ට 2027 අයවැයෙන් රුපියල් 25,000 ක අන්තර් කාලීන දීමනාවක් ගෙවීම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මත පනවා අැති බදු ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් රජයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ මධ්‍ය විධායක සභාව පසුගියදා තීරණය කළේය.

මෙයට අමතරව රාජ්‍ය සේවයේ අභ්‍යන්තර සේවක පුරප්පාඩු කඩිනමින් පිරවීම, රාජ්‍ය සේවයේ අභ්‍යන්තර උසස්වීම් ක්‍රියාත්මක කිරීම, වැටුප් කොමිෂන් සභාවට වාර්තාවක් ඉදිරිපත් කිරීම යනාදී ඉල්ලීම් රජයට ඉදිරිපත් කිරීමටද එහිදී අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ඩබ්ලිව් රෝයිද මැල් මහතා පැවසීය.

මෙම යෝජනා රජයට නිවැරදිව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරන බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ මධ්‍ය විධායක සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ එහි භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ මහ ලේකම්හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පසුගිය 07 වැනිදා පැවැත්විණ.

එහිදී හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාා මහතා ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්විය.

මහලේකම් දුමින්ද දිසානායක මහතා පක්ෂයේ නියෝජ්‍ය සභාපති ලෙස තේරී පත් වූ අතර සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් රෝයි ද මැල් මහතා එම තනතුරට ඉදිරි වර්ෂ තුන සඳහා නැවතත් තේරී පත්විය.

සුසිත් අරුණසිරි මහතා භාණ්ඩාගාරික ලෙසද බී.ජී කනිෂ්ක මහතා ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙසද ශ්‍රී ලංකා නිදහස් සාත්තු සේවක සංගමයේ කේවී ඔෂාන් චමීර සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ටී.එම් නිශාන්ත මහතා උපසභාපතිවරැන් ලෙසද තේරි පත්වූහ.