(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)

නිට්ටඹුව දංගොල්ලවත්ත, සුහද මාවත පිහිටි නිවසක් ඉදිරිපිටදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු බෑණනුවන් එල්ල කළ බව කියන පොලු පහරකින් බරපතල තුවාල ලැබූ අසූ හැවිරිදි මාමන්ඩිය වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පණ්ඩිත මොහොට්ටිලාගේ රත්නපාල නමැත්තෙකු වන අතර ඔහු ඉදිපරපේ මීරිගම ලිපිනයේ පදිංචිකරුවකු බව හෙළි වී ඇතැයි පොලිසිය කියයි

පවුල් ආරවුලක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුව ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ මාමන්ඩිය ප්‍රදේශවාසීන් සහ ඥාතීන් විසින් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.

අපරාධය සිදුකිරීමෙන් අනතුරුව ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි සැකකාර බෑණනුවන් කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.