(සුජිත් හේවාජුලිගේ)

ග්‍රාමීය මෙන්ම නාගරික බොහෝ පාසල්වල ක්‍රීඩා ගුරුවරුන්ගේ සහ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ බරපතළ හිඟයක් පවතින බව වාර්තාවේ

මේ හේතුවෙන් එම පාසල්වල ක්‍රීඩා කටයුතු මන්දගාමී වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම මෙම තත්වය යටතේ ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවීම අඩාල වීමේ ප්‍රවණතාවක්ද මතුව ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසන්නේ රටේ බොහෝ පාසල්වල ක්‍රීඩා ගුරුවරුන්ගේ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ හිගයක් පවතින බවයි.

පාසල්වල ක්‍රීඩාව නැංවීම සඳහා පාසල් ක්‍රීඩා පොදු සැලැස්මක් සකස් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා වෙනම කමිටුවක්ද පත් කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර ක්‍රීඩා පුහුණුකරුවන් පාසල් ක්‍රීඩා කටයුතු සඳහා සම්බන්ධ කරගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය සමග සාකච්ඡා කරගෙන යන බව මධුර සෙනවිරත්න මහතා පැවසීය.

ක්‍රීඩා පුහුණුකරුවන් සම්බන්ධ කරගෙන එම පුහුණුකරුවන් පාසල් කිහිපයකට යෙදවීම සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

මේ අතර මේ වසරේදී පාසල්වල බොහෝ විෂයන් සඳහා ගුරුවරුන් වැඩි පිරිසක් බඳවා ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දිවයින පුරා ගුරුවරුන් විෂයානුබද්ධව බෙදී යාම පිළිබඳවද ගැටලුකාරී තත්ත්වයක් පවතින බවත් එම තත්ත්වයද නිවැරදි කිරීමට සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.