(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි එකොළහක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙක්  කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

මොහු 79 හැවිරිදි වියේ පසුවන ස්පාඤ්ඤ ජාතිකයකු වන අතර එරට කෘෂි ඉංජිනේරුවරයකු ලෙස සේවය කළ අයෙකි .

ඔහු මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවරින් ගමන් අරඹා , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ . ඉන්පසු එතැන් සිට  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහෙත් ඔහුගේ ගමන් මල්ල එම ගුවන් යානයෙන් රැගෙන පැමිණ නොතිබුණු අතර ,  කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

එම ගමන් මල්ල ලබා ගැනීම සදහා , මෙම ස්පාඤ්ඤ ජාතිකයා  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එය රැගෙන යමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙසේ අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

මෙම ගමන් මල්ල තුළ , විශේෂයෙන් සකස් කර තිබූ සහතික පත් රැගෙන යාමට සූදානම් කර ඇති " ෆයිල් " කවර දෙකක් තුළ , සූක්ෂම ලෙස සගවා , මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 200 ක ප්‍රමාණය අසුරා ගෙන තිබුණි .