( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පාස්කු ඉරුදින ප්‍රහාර ප්‍රහාර වළක්වා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා කටයුතු නොකිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් එම ප්‍රහාරයෙන් සිය දරුවෙන් දෙදෙනා අහිමි වූ දෙමව්පිය යුවළක්, හෝටල් ව්‍යාපාරිකයෙකු ඇතුළු 12 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 පිළිබද විභාගය කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් දෙදෙනෙකු පෞද්ගලික හේතුන් මත අද (16) එම පෙත්සම විභාගයෙන් ඉවත් විණි.

මෙලෙස ඉවත් වූයේ එම පෙත්සම් 12 විභාග කළ සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිතයින් ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු වූ ප්‍රියන්ත ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ය.

මෙම පෙත්සම් අද (16) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, එල්.ටී.බී.දෙහිදෙණිය, එස්.තුරේරාජා සහ ගාමණී අමරසේකර යන මහත්ම මහත්මීන් හමුවේ කැදවිණි.එහිදී අදාළ විනිසුරුවරුන් දෙදෙනා පෞද්ගලික හේතූන් මත මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව අධිකරණයයේදී නිවේදනය කෙරිණි.

ඒ අනුව මෙම පෙත්සම් 12 ලබන මාර්තු 14 , 15, 16 ,18 යන දිනයන් හි සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) දින නියම කළේය.

මෙම පෙත්සම් හී වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු , හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා , පසුගිය යහපාලන රජයේ අමාත්‍ය මණ්ඩලය , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.