(පද්මසිරි ගාර්දියවසම්)

හම්බන්තොට - මාතර ප්‍රධාන මාර්ගයේ පල්ලෙමලල ප්‍රදේශයේදී අද  දහවල් 01 ට පමණ බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වෙළෙඳ සලක තාප්පයක කොටසක් කඩාගෙන ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 25 දෙනකු පමණ තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි .

තුවාල කරුවන් අතර විදේශීය සංචාරකයන් තිදෙනකු සිටින අතර ඔවුන් ගෙන් දෙදෙනකු සංචාරක කාන්තාවන් බව පොලිසිය පවසයි .

අනතුරට ලක්ව ඇත්තේ ලංගම බස් රථයක් සහ පුද්ගලික මගී බස් රථයකි.

දෙහිඅත්තකණ්ඩියේ සිට ගාල්ල බලා ධාවනය වූ දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත් ලංගම බස් රථය එයට ඉදිරියෙන් තිස්සමහාරාම සිට මාතර දක්වා ධාවනය වූ පුද්ගලික මගී බස් රථයට ඉස්සර කිරීමට යාමේදී ලංගම බස් රථය පුද්ගලික මගී බස් රථයේ පිටුපස ගැටීම හේතුවෙන් වේගය පාලනය කරගත නොහැකිව ලංගම බස් රථය මාර්ගයේ වම්පසින්  වෙළෙඳ සැලේ තාප්පය කඩාගෙන ගොස් නැවතී ඇතැයි පොලිසිය කියයි.