(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිට අන්තර්ජාලය (පිරමීඩ) හරහා නීති විරෝධී අයුරින් මුදල් වංචාවේ යෙදුණු චීන ජාතිකයන් 16 දෙනකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි.

එම සැකකරුවන් සමග ලැෆ්ටොෆ් පරිගණක 23 ක් ජංගම දුරකථන 11 ක් රවුටර් 07 ක් හඬ පරිවර්තන යන්ත්‍ර 09 ක් හා විදෙස් දුම් වැටි 3280 ක් පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ 05 ලිපිනයේ ජාවත්ව පාර, දොන් කරෝලිස්පාර ලිපිනයේ මීට දින කීපයකට ඉහතදී තාවකාලිකව පදිංචියට පැමිණි චීන ජාතිකයන් පිරිසක් කිසියම් නීති විරෝධී කටයුත්තක යෙදෙන බවට සැක කරන බව කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් සුජීව කුමාර මහතාට ලද තොරතුරකට අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් එම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් චීන ජාතික පිරිමි පුද්ගලයන් 16 දෙනා සන්තකයේ තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම් වැටි තිබී ඇති අතර ඔවුන් රැඳී සිටි ස්ථානය වැඩිදුරටත් සිදු කළ පරික්ෂාවේදී ලැෆ්ටොෆ් පරිගණක සහ සෙසු දේපළ සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

මෙම සැකකාර චීන ජාතිකයන් මෙරට රැඳී සිටි විදේශීය රටවල් හා සම්බන්ධ වෙමින් විවිධ පුද්ගලයන් මුලා කරා පිරමීඩ ජාවාරමේ යෙදෙන බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.