(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවට පැමිණි ඇතැම්  මන්ත්‍රීවරුන් නිලධාරීන් විසින් නොපැමිණි මන්ත්‍රීවරුන් ලෙස  සටහන් කරනු ලැබ ඇති බවත්  මෙවැනි පොඩි දෙයක් හෝ හරියාකාරව කළ නොහැකි නිලධාරීන්  මේ ආයතනයට කුමකටදැයි  තමා ප්‍රශ්න කරන බවත්  සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී  චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී  අද (25) පැවැසීය.

ලේකම්තුමියලා  මේවාට වගකිවයුතු බවද  ඔහු සඳහන් කළේ‍ය.

විජේසිරි මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.

මේ අවස්ථාවේදී ඇතිවූ සංවාදයක් නිසා  මැතිසබයේ උණුසුම් තත්වයක් මතුවිය.

රටට සෙත් පතා විශාල පිරිත්  පින්කමක්  පැවැත්වීමට  පාර්ලිමේන්තුව සූදානම් වන බවත් මෙවැනි අවස්ථාවක එවැනි කටයුතු කිරීම මුදල් විශාල වශයෙන් නාස්ති කිරීමක් බවත් චමින්ද විජේසිරි මහතා කීවේය.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ  රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසූවේ  තමා පසුගිය වසරේ දෙසැම්බර් මස 6 සහ 7 දිනවල පාර්ලිමේන්තුවට  පැමිණියත්  ඒ දින දෙකේ තමා නොපැමිණි මන්ත්‍රීවරයකු ලෙස එහි සටහන්වල දක්වා ඇති බවයි.

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ  ස්ථාන තුනකදී පරීක්ෂාවට  ලක් වන හෙයින් පැමිණීම මේ ආකාරයට නිසි ලෙස සටහන් නොවීම බරපතළ ප්‍රශ්නයක් බවද  ඔහු සඳහන් කළේය.