පුත්තලම කලපුව මැදින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිට අනුරාධපුරය දක්වා දිවෙන අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ඇදීම සම්බන්ධයෙන් වන පරිසර තත්ත්ව වාර්තාවක් ඉදිරිපත් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය  අද (08) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය .

විදුලි රැහැන් ඇදීමට එරෙහිව  ගොනු කර තිබූ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ මධ්‍යම පරිසර අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්  අර්ජුන ඔබේසේකර මහතා මේ බව අධිකරණයට දැන්වීය.

අධිබලැති විදුලි සම්ප්‍රේෂණ රැහැන් ඇදීම නිසා කලපුවේ ජෛව විවිධත්වයට හා ඒ ආශ්‍රිත ජන ජීවිතයට දැඩි අනතුරකට ලක්වන බැවින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයි ඉල්ලා පුත්තලම ප්‍රදේශයේ පිහිටි වලර්පිරායි ධීවර සංගමය ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ  දෙපාර්තමේන්තුව, විදුලිබල හා බලශක්ති අමත්‍යාංශය ඇතුළු පිරිසක්  නම් කරනු  ලැබ සිටිති.

පෙත්සම කැඳවූ අවස්ථාවේ  අභියාචනාධිකරණ සභාපතිවරයා දැනුම් දී සිටියේ පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ඇත්නම් ලබන 24 වැනිදාට පෙර එම විරෝධතා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසය. ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 24 වැනි දිනට කල් තබන ලදී.