දිනෙන් දින ඔඩුදුවන ඉරාන අර්බුදය මුල්කොට ගනිමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමක් කළේය.

ඇමෙරිකාව ඉරානයට හමුදා ප්‍රහාරයක් එල්ල කරන්නේ නම්, තමන් නිහඬව බලා නොසිටින බව රුසියන් ජනාධිපති පුටින්ගේ අවධාරණය කර ඇත. ඉරානයේ තෙහෙරාන් අගනුවර ඇතුළු සෙසු ප්‍රධාන නගරවල, ඉරාන රජයට එරෙහිව වීදි බැස ප්‍රචණ්ඩ ක්‍රියා කරන විරෝධතාකරුවන් දිරි ගැන්වීමට ජනාධිපති ට්‍රම්ප් ක්‍රියා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ද රුසියන් ජනාධිපති පුටින්ගේ දෝෂදර්ශනයට හේතුවක් වී තිබේ.

ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන්, මැදපෙරදිග කලාපයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, එය ගෝලීය ආරක්ෂාවට දැඩි තර්ජනයක් වී ඇති බවත් රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඉරානය මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදයකට සහ දේශපාලන නොසන්සුන්තාව දිනෙන් දින ඉහළ යමින් තිබේ. තෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයකම ආරක්ෂක අංශ දැඩි ලෙස යොදවා ඇති අතර, අන්තර්ජාල පහසුකම් වරින් වර සීමා කිරීමට රජය පියවර ගෙන තිබේ. ඉරාන රජයට එරෙහිව එරට වැසියන් උසි ගන්වන්නේ ඇමෙරිකාව සහ ඊශ්‍රායපය යැයි ඉරානය චෝදනා කරයි. ඊශ්‍රායල 'ත්‍රස්ත' කණ්ඩායම් ඉරානයට පැමිණ ඇති බවටත්, විරෝධතාකරුවන් උසි ගන්වන බවටත් ඉරාන ආරක්ෂක අංශ චෝදනසා කරයි. එවැනි කණ්ඩායම් කීපයක සාමාජිකයන් අල්ලා ගැනීමට තමන් කටයුතු කළ බව ද ඉරාන රජය පවසා ඇත.

ඉකුත් සති කිහිපය තුළ ඉරාන 'රියාල්' මුදල සීග්‍රයෙන් කඩාවැටීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගියා. මෙය සාමාන්‍ය ජනතාව පාරට බැසීමට ප්‍රධානතම හේතුව විය.

ඉරාන කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් සහ සමාජ හැසිරීම් සම්බන්ධයෙන් පනවා ඇති දැඩි නීති රීති නැවතත් දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය ගත් උත්සාහය තරුණ පරපුරේ දැඩි විවේචනයට ලක්වී ඇති අතර එය ද අලුතින් හටගත් විරෝධතා උක්සන්න කිරීමට හේතුවක් වී ඇතැයි පැවැසෙයි. ශීත ඍතුවත් සමඟ රටේ පවතින ස්වභාවික වායු සහ විදුලි හිඟය හේතුවෙන් නිවාස සහ කර්මාන්තශාලා රැසක් අඩපණ වීම ජනතා කෝපය වැඩි කිරීමට හේතු වී තිබේ. මැදපෙරදිග පවතින භූ-දේශපාලනික තත්ත්වයන් සහ විදේශ සම්බාධක තවදුරටත් දැඩි වීම නිසා ඇති වූ පීඩනය මෙයට වක්‍රව මෙම අර්බුදයට බලපා ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මානව හිමිකම් සංවිධාන වාර්තා  කරන්නේ, රට තුළ හටගෙන ඇති ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, 2,000 ක පිරිසක් මියගොස් ඇති බවය.විරෝධතාකරුවන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් 135ක් පමණ ද ඊට ඇතුළත් වෙයි. ඉකුත් ජනවාරි 8 සහ 9 යන දිනවල ක්‍රියාත්මක වූ රජයේ දැඩි මර්දන ක්‍රියාපිළිවෙත හේතුවෙන් මරණ සංඛ්‍යාව 12,000 දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ කේන්ද්‍රකොටගත් ඉරාන ඉන්ටර්නැෂනල් මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ආයතනය පවසා ඇත. ඇතැම් ක්‍රියාකාරීන් පවසා ඇත්තේ මියගිය ගණන 20,000 දක්වා වුවද ඉහළ යා හැකි බවය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි සහ සෘජු ප්‍රකාශයන් කිහිපයක් කර ඇත. ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම හරහා ඉරාන රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්ට පණිවිඩයක් දී ඇත්තේ ඇමෙරිකාව උදවුවට සිටිනවා යැයි පවසමිනි. රජයට එරෙහිව විරෝධතා පවත්වන ඉරාන වැසියන්, දේශප්‍රේමීන් ලෙස හඳුන්වමින්, විරෝධතා අත්නොහරින ලෙසත් රජයේ ආයතන තම පාලනයට ගන්නා ලෙසත් ඇමෙරිකන් ජනාධිපතිවරයා එම පිරිස් දිරි ගැන්වීමක් කර ඇත. විරෝධතාකරුවන් ඝාතනය කිරීම නතර කරන තුරු ඉරාන නිලධාරීන් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සියලුම සාකච්ඡා සහ හමුවීම් අවලංගු කළ බව ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත. 

ඉරාන රජය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කර තිබුණ ද, ට්‍රම්ප් පවසන්නේ සාමකාමී ජනතාව මරා දමන පාලනයක් සමඟ තමන් ගනුදෙනු නොකරන බවය. ජනාධිපති ට්‍රම්ප් ඉතා තීරණාත්මක තීරණයක් ගනිමින් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ ගනුදෙනු කරන ඕනෑම රටකට ඇමරිකාව සමඟ වෙළඳාම් කිරීමේදී සියයට 25 ක අමතර තීරු බද්දක් පනවන බවය. මෙය චීනය, ඉන්දියාව සහ තුර්කිය වැනි රටවලට සෘජුවම බලපාන අතර ඉරානය තවදුරටත් හුදකලා කිරීම මෙහි අරමුණ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.