පාකිස්තානයේ කරච්චි නුවර, අබිරහස් රෝගයන් පැතිරෙන බවත්, මේවනවිට 18 දෙනකු එම රෝගයෙන් මියගොස් ඇති බවත් එරට මාධ්‍ය පවසයි. මියගිය 18 දෙනාගෙන් වැඩි දෙනා කුඩා දරුවන් බව ද වාර්තා වේ.

කරච්චි පාකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය මෙන්ම වරාය නගරය ද වෙයි. පාකිස්තාන සෞඛ්‍ය සේවා ප්‍රධානී අබ්දුල් හමීද් ජුමානී මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේ පසුගිය ජනවාරි 10 වැනිදා සිට 25 වැනිදා කාලයේ මරණ වාර්තා වුණු බවය. මියගිය 18 දෙනාගෙන් 14 දෙනකු කුඩා දරුවන්ය.

වෛද්‍යවරුන්ට හඳුනා ගැනිමට අපහසු වුණු මෙම රෝගය පැතිර යන්නේ කරච්චි නුවර, ‘කෙමාරි’ පළාතේ, වෙරළාශ්‍රිත මවාච් ගෝත් පළාතේ ගෝත් නමැති ධීවර ගම්මානය කේන්ද්‍රකොට ගනිමිනි.  මියගිය 18 දෙනා අතර එකම පවුලේ කීප දෙනකු ද සිටින බව ද පැවැසෙයි.

අබිරහස් රෝගය කුමක්දැයි සොයා බැලීමට වෛද්‍ය කණ්ඩායම් කීපයක් යවා ඇතැයි ප්‍රධානී අබ්දුල් හමීද් ජුමානී මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් පැහැදිලි කළේය.

මියගිය 18 දෙනා අවසන් වරට ආහාරයට ගෙන ඇත්තේ සෝයා බෝංචි බව මූලික විමර්ශනවලින් හෙලි වී තිබේ. අබිරහස් රෝගය සහ මරණවලට හේතුව සෝයා බෝංචි විෂ වීමක්දැයි සැක කෙරේ.

(එන්.ඩී.ටීවී.)