(සුජිත් හේවාජුලිගේ )

රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවාගෙන එන්නැයි වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ (07) දැනුම් දී ඇත.

ඔහු මෙම දැනුම් දීම කර ඇත්තේ පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය කළ නියෝගයක් අනුවය.

තමාට ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් ඉල්ලීමක් කළේය.

නීති අංශ පවසන්නේ නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හෙයින් ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට නීතිමය බාධාවක් නැති බවයි.

පාර්ලිමේන්තුව අද (08) සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතය .

එයාර් බස් ගනුදෙනුවේදී රැපියල් කෝ ටි 10ක අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණු නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත ගනු ලැබීය.