(මොහොමඩ් ආසික්)

බන්ධනාගාර නියාමකවරයකු සහ ඔහුගේ පුතා දැලි පිහියකින් කපා තුවාල සිදු කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අද( 17 )  අත්අඩංගුවට ගත් බව  කටුගස්තොට පොලීසිය කියයි.

බන්ධනාගාර නිලධාරිවරයා  සිය සේවය අවසන් කර නිවසට පැමිණෙන අවස්ථාවේ නිවස ඉදිර්‍රිපිටදී පුද්ගලයෙකු මූත්‍රා කරමින් සිටිනු දැක ඒ ගැන විමසීමේදී ඇති වූ බහින් බස්වීමක් දුර දිග ගොස්  එම පුද්ගලයා විසින් ඔහුගේ මිතුරකුද එම ස්ථානයට ගෙන්වා ගෙන මෙලෙස දැලි පිහියෙන් කපා ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

එම  සැකකරු විසින් ලබා දුන් දුරකථන  ඇමතුමකට අනුව එම ස්ථානයට වෑන් රථයකින් පැමිණි මිතුරාද සමඟ එක්ව මෙලෙස දැලි පිහියෙන් කපා ඇති බවද පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

මෙලෙස දැලි පිහියෙන් කැපීම නිසා  බරපතළ තුවාල ලබා ඇති බන්ධනාගාර නිලධාරිවරයා සහ ඔහුගේ පුතා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති  තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.

කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් මහතාගේ මෙහෙයවීම මත  උප පොලිස් පරීක්ෂක ශාලික, උප පොලිස් පරීක්ෂක මහින්ද, උප පොලිස් පරීක්ෂක ආනන්ද, උප පොලිස් පරීක්ෂක අබේසුන්දර යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීෂණ සිදු කරති.