(විමුක්ති එස් රුද්‍රිගු)

යුරෝපය පුරා පැතිර යන දැඩි උණුසුම් තත්වය හේතුවෙන් ප්‍රංශයේ අවම වශයෙන් 18ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියගිය අය අතර ළමයින් දෙදෙනෙකුද සිටින බවත් එම ළමයින් දෙදෙනා මෝටර් රථයේ සිටියදී දැඩි රස්නය හේතුවෙන් මියගොස් ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි.

දැඩි උණුසුම හේතුවෙන් ප්‍රංශයේ ඇතැම් පාසල් වසා දමා තිබෙන බවත් තවත් පාසල් පවත්නා වේලාව වෙනස් කර තිබෙන බවත් එහි දැක්වේ. ප්‍රංශයේ බෝඩෝ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.9ක් ලෙස සඳහන්ව තිබෙන බවත් එය පසුගිය අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ වැඩිම උෂ්ණත්වය බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි.

එසේම ප්‍රංශයේ පොයිටියර්ස් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.2ක් ලෙස වාර්තා වී ඇති බවත් එය 1947න් පසුව වාර්තා වූ වැඩිම උෂ්ණත්වය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එළැඹෙන මාසය මුලදී බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වයද වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි දැනටමත් එරට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර ඇත.