(සුජිත් හේවාජුලිගේ )

සමහර දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි කොරෝනා  මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

මේ තත්වය  සුළුවෙන් තැකිය නොහැකි බවද ඇය සඳහන් කළාය.

අම්පාර දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවලද ආසාදිතයින්ගේ යම්  වැඩිවීමක් දක්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය ජනතාව මූලික  සෞඛ්‍ය නීතිවලට  අනුගතව කටයුතු නොකළහොත් ආසාදිතයන් සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවද  පෙන්වා දුන්නාය.

දැනට ආසාදිතයන්  සංඛ්‍යාව පවතින්නේ පන්සියයේ මට්ටමේ බවත්  ජනතාව සෞඛ්‍ය නීති අනුගමනය නොකළහොත් එම සංඛ්‍යාව 1500 ක් දක්වා වැඩිවීමට වැඩි කාලයක් ගත නොවනු ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  සඳහන් කළාය.

වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගවල සඵලතාවය බොහෝ දුරට රඳාපවතින්නේ පුද්ගල හැසිරීම් මත බවද ඇය කීවාය.

ජනතාව සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ඇති කරුණු නොසලකා හැරීමෙන් කොවිඩ්  අර්බුදය තවත් උග්‍ර විය හැකි බව පැවසූ  රාජ්‍ය ඇමැතිවරිය නිවෙස්වලින් පිටතට යන අවස්ථාවලදී  මුව ආවරණ පැළඳීම ඇතුළු මූලික සෞඛ්‍ය නීති  අනුගමනය කිරීම දිගටම කළ යුතු බවද  පෙන්වා දුන්නාය.