හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් දීමෙන් පසුව තමන්ට  එල්ලවන දෝෂාරෝපණ ගැන කම්පාවට පත්වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද (8) ප්‍රකාශ කළාය.

එම තීන්දුව ලබා දීම පිළිබඳ  නීතිමය පැහැදිලි කීරීමක් කර දෙන්නැයි ඉල්ලා නීතිපති ගොනු කල මෝසම අද(08) සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය මේ බව කීය.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ මත ඉදිරිපත් කළ බවත්, අවුරුදු 34ක් නීති ක්ෂේත්‍රෙය් කටයුතු කළ තමාට කිසිම නඩු විභාගයක් සුවිශේෂී නොවන බවත් මෙයද තවත් එක් නඩු විභාගයක් පමණක් යැයිද ඇය කීවාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීම වළකාලමින් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් මතුවූ කරුණු කාරණා බොහොමයක් අසත්‍ය වන බවත් එදින අධිකරණය හමුවට ඉදිරිපත් වූ කරුණු පමණක් සලකා බලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වලකාලමින් එම අතුරු නියෝගය ලබා දුන් බවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය අධිකරණය හමුවේ කියා සිටියාය.