(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (10) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් මෙම වැසි ඇතිවන බවත්, එම පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරු වෙරළ ආසන්නයෙන් උතුරු තමිල්නාඩු වෙරළට ඇතුළු වේ යැයි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි එම දෙපාර්තමේන්තුව පවසයි.