(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දරුවන් රැකියාවන්හි යොදා ගැනීම සම්බන්ධයෙන් පැවතුණ රුපියල් දස දහසක දඩ මුදල ලක්ෂයක් දක්වා වැඩි කිරීමේ ප්‍රතිපාදන ඇතුළත් ස්ත්‍රීන් තරුණයන් සහ දරුවන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පස්වරැවේ සම්මත විය.

එසේම ළමයින් සේවයේ යෙදවීම තහනම් කර තිබූ ක්ෂේත්‍ර පනස් එක 71 දක්වා වැඩි කිරීමටද මෙම පනත් කෙටුම්පතෙන් ප්‍රතිපාදන සැලසේ.

මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ කාන්තා හා ළමා කටයුතු ඇමතිනී සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය පැවසුවේ දරැවන් අනාරක්ෂිතව ගෘහ සේවයේ යෙදවීම අනෙකුත් කර්මාන්තශාලාවල, පතල්වල, ගැඹුරු සාගරය වැනි තැන්වල මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ලිංගික ශ්‍රමය සදාචාර විරෝධී රැකියා ස්පා වැනි ස්ථානවල සේවයේ යොදා ගැනීම තහනම් කෙරෙන බවයි.

වයස 16 ට අඩු දරුවන් රැකියාවන් යොදා ගැනීම තහනම් බවත් 16-18 වයස්වල දරුවන් අවදානම් සහ අන්තරායකර රැකියාවල යෙදවීම අනිවාර්ය වරදක් බවත් අමාත්‍යවරිය කීවාය.

ශ්‍රී ලංකාව ළමා ශ්‍රමය අවසන් කරපු රාජ්‍යයක් බවට පත් කරන බවද අැය පැවැසුවාය.

දඩ මුදල අධිකරණයේ සෙසු දණ්ඩනයන්ටද ඇතුළත් කෙරෙන බව පෝල් රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.