
(සුජිත් හේවාජුලිගේ )
ආහාර හිඟය නිසා දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම සියයට 20 කින් පමණ වැඩිවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙන ළමයින්ගෙන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවක්ද මන්දපෝෂණයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද .විශේෂඥ වෛද්‍යවරයා කීවේය.
මේ අතර රටේ ආර්ථික තත්වය හමුවේ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉතා විශාල වශයෙන් පහළට වැටෙමින් පවතින හෙයින් මත්පැන්, සිගරට් සඳහා වැය කෙරෙන මුදල දරුවන්ට බිත්තරයක් හෝ වෙනත් පෝෂ්‍යදායි ආහාරයක් ලබාදීමට කැප කරන්නැයි මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව දීපාල් පෙරේරා මහතා පැවසීය.
එක සිගරට්ටුවක් සඳහා වැය කෙරෙන මුදලින් දරුවන්ට බිත්තර දෙකක් මිලදී ගැනීමට හැකියාව පවතින බවද හෙතෙම සඳහන් කළේය.
ආහාර හිඟය නිසා නියමිත පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයට නොලැබෙන තත්වයක් පවතින හෙයින් දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම සීග්‍රයෙන් වැඩිවන තත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා දරුවන්ගේ පෝෂණය ගැන මේ අවස්ථාවේදී මවුපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවද පෙන්වා දුන්නේය.
මන්දපෝෂණයට ගොදුරු වන දරුවන් පහසුවෙන්ම වෙනත් රෝගාබාධ වලට ලක් වන බවද ඔහු සඳහන් කළේය.
වත්ත පිටියේ වැවෙන කොළවර්ග පලාවර්ග මේ අවස්ථාවේදී දරුවන්ට වැඩි වැඩියෙන් ලබාදීමද ඉතා වැදගත් බවත් විශේෂයෙන්ම මුරුංගා කොළ දෛනික ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඉන් පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා ගත හැකි වන බවත් ඔහු පැවසුවේය.
ආර්ථික අර්බුදය හමුවේ සිය ගෙවත්තේ එළවළු පලා වර්ග වගා කිරීමටද මවුපියන් වැඩි වැඩියෙන් උනන්දු විය යුතු බව පෙරේරා මහතා පෙන්වා දුන්නේය.
පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමද මේ මොහොතේ දී ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේද?
හරි පුදුමයි! පින්බිමේ උපන් ප්‍රෞඩ ජාතියේ දරුවන්ට මන්ද පෝෂණයද? ඇයි ඒ විතරද, මහ එවුන්ගේ වයසට අනුව මොලේ වර්ධනය නොවීමේ රෝගය? හොරාකන පාලකයෝයි, පිනට කන පූජකයෝයි එකට එකතු වෙලා ඔබලාට දුන්නු තෑග්ග තමයි ඔය. ලංකාවේ ඉඳගෙන මයියොක්කා තම්බලා ගිල්ලලා දරුවන්ව පෝෂණය කරලා, ලෝකෙට ගිහිල්ලා හිඟා කාලා පාලකයින්ගේ දරු මුනුබුරන්ව පෝෂණය කරන එක ඔබලාගේ ජාතික යුතුකමනේ ඉතින්.. දේශප්‍රේමය කියලනේ ඒකට කියන්නේ...
රටේ අනාගතය අඳුරු කළා... හෙණ ගහන්න ඕනේ.. !
කාබනික ගොවිතැනෙන් ආදර්ශයක් දෙනවා කියලා මෝඩචූන් ගත්තු එකේ ඵලවිපාක පේනවා නේද? අන්තිමට රටත් බංකොළොත් වුණා. මේ වගේ ගොන් ආදර්ශ ගන්න තරම් නායකයෝ වෙන රටවල සිටිය නැති නිසා හොඳයි... මේ ආදර්ශ ගත්තා නම් ඒ රටවල මිනිස්සුත් අද බඩගින්නේ...!