(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන ආ එළවළු එහි පැමිණි එළවළු මිලට ගන්නා ව්‍යාපාරිකයන් මිලදී නොගැනීම නිසා අද(10 ) පෙරවරුවේ සිට එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විණි.
අද(10) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එළවළු මිලදී ගත් ව්‍යාපාරිකයන්ගේ ලොරි රථවලට එළවළු පැටවීමේදී පොදු රථගාල භාවිත කළ යුතු බවත් රථගාලෙන් පිට එළවළු පැටවීම නොකළ යුතු බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය විසින් තීන්දු කර තිබිණි.
ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයින් එම තීන්දුවට විරෝධය පළ කරමින් එළවළු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු පැටවීම සඳහා වෙනම මංතීරුවක් පවතින බවත් එය ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන තිබෙන බවත්ය. වාහන නැවතුම්පලක සිට එළවළු පැටවීමේදී අධික වියදමක් දැරීමට සිදුවන බවත් දුර බැහැර ප්‍රදේශවලට එළවළු ප්‍රවාහනය කිරීම සඳහා සැලකියයුතු කාලයක් ගතවීම හේතුවෙන් එළවළු අලෙවි කිරීමට නොහැකි තත්වයක් උදා වන බවත් ඔවුහු පැවසූහ.
මේ හේතුවෙන් උදෑසන සිටම් මේ වනතුරු ම එළවළු මිලදී ගැනීමක් සිදුනොවීය. එනිසා ගොවීහු කෑකෝ ගසමින් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයන් හමුවීමට කාර්යාලයට ඇතුළු වී වෙළෙඳ සංගම් නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූහ.
ව්‍යාපාරිකයන් විසින් තමන්ට විවිධ අක්‍රමිකතා සිදුකරන්නේ යැයි ගොවීහු චෝදනා කළහ. ව්‍යාපාරිකයන් කියා සිටියේ මෙම තීරණයට එළැඹියේ ගොවීන්ගේ මෙන්ම එළවළු මිලදී ගැනීමට එන ව්‍යාපාරිකයන්ගේ ද සුබසිද්ධිය උදෙසා බවයි .
කෙසේවෙතත් එළවළු මිලදී නොගන්නේ නම් ගොවීන්ගේ එළවළු ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ ව්‍යාපාරිකයන් විසින් වැඩි මිලකට මිලදී ගන්නා බව ව්‍යාපාරිකයෝ කීහ. එයට ගොවීන්ගේ අනුමැතිය ලැබිණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇති වූ මෙම උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. එළවළු මිලදී ගැනීමට පිටතින් පැමිණි ව්‍යාපාරිකයන් එළවළු මිලදී නොගත් අතර ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන් එළවළු මිලදී ගන්නා බව සඳහන් කළ ද තවමත් එය ඉටු වී නැත. එළවළු විකුණාගත නොහැකි ගොවීහු තවදුරටත් තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානය තුළ තබාගෙන සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම බලන් ඉන්නේ නොවිඳින දුක් විඳගෙන, ණය බරින් මිරිකීගෙන, ගොවිතැන් කරන අසරණ මිනිස්සුන්ගේ රීරි මාංශය හූරන් කන්න. පොළොවෙන් මතුවෙන බින්කුන්ඩෝ එහෙම නැතිනම් ආර්ථික ඔස්තාර්ලා කියලා තමන්ට කියාගන්න පාලකයින්ට මේවා ගැන වගේ වගක් නෑ. ඇමතියන්ට, මන්ත්‍රීයන්ට, පළාත් සභා, ප්‍රාදේශීය සභාවල ඉන්න හොරුන්ට ඕනේ කොහොමද තමන්ගේ කොමිස් කුට්ටි කඩාගන්නේ...? කොහොමද වාහන පර්මිට් අරන් විකුණා ගන්නේ? කාගේ ඉඩමක්ද බලෙන් අල්ල ගන්නේ, කාගෙන්ද කප්පන් කන්නේ වගේ දේවල් විතරයි. ඉතින් මෙහෙම රටක කවදා සාමාන්‍ය මිනිහෙක්ට සාධාරණයක් වෙයිද?
මේ කූට අතරමැදියා පරයා, ගොවීන් තමන්ගේ ඵලදාව කෙලින්ම පාරිභෝගිකයාට අලෙවි කිරීමට මගක් ඇතිවෙනතුරු මේ ප්රශ්නය පවතී. පවතින රජයන් සැමවිටම වෙළෙඳුන්ගේ පැත්ත ගන්න බැවින් එවැනි සේවාවක් ගොවීන්හට රජයෙන් ලැබෙයි කියා සිතිය නොහැක. සැමවිටම පීඩාවට පත්වන ගොවීන් මේ සඳහා සංවිධානය වේ යයි සිතමි...
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කියන්නේ තනිකරම හොර මාෆියා ගුහාවක්. ගොවීන් හූරා කන තැනක්.
වෙළෙඳ ගොවීන් ඔහොම තමයි. වෙළඳ මාෆියාව කොහෙත් එකයි.
හැම තැනම හොරකම සහ සූරා කෑම. වැඩි කලක් යන්න මත්තෙන් ගොවියෝ, සාමාන්‍ය ජනයා නීතිය අතට ගනීවි. එතකොට විසදුම් නම් දේවි එකට. නමුත් ඇත්ත ප්‍රශ්නයට උත්තර නැහැ. කොහෙද තමන්ගේ ගොඩ වඩා ගන්න එපාද? මේවට වෙන් කරන්න තත්පරයක්වත් කාලය නැහැ.