2017-02-09-ent-54

ආදරය බැඳී පවතින්නේ පෙම්වතුන් ලෙස සිටියදී විතරම ද? ඉන් පසුව ආදරයට මොකද වෙන්නේ? විවාහයෙන් පසු ඒ ආදරය පෙර ලෙසම බැඳී පවතිනවා ද? නැත්නම් එය වෙනස් වෙනවා ද? පුංචි තිරයේ දක්ෂ රංගන ශිල්පියකු වන ධනංජය සිරිවර්ධන සහ ඔහුගේ සුන්දර බිරිඳ ශෂිනිගෙන් ඒ ගැන අහන්නයි මේ සූදානම. ”ධනංජය සහ ශෂිනි” යුග දිවියට එළැඹ වසර තුනක් පමණ ගත වෙද්දී ආදරය දැනෙන්නේ හැගෙන්නේ කොහොමද?

 

ජීවිතය මොන විදියටද දැනෙන්නේ? ආදරවන්තයන් සඳහා දිනයක් ද වෙන්වූ සමාජයක මේ කතාබහ ධනංජය සහ ශෂිනි සමගයි.

 

මුලින්ම අපි ශෂිනි එක්ක කතා කරන්න කැමතියි. කොහොමද ශෂිනි ජීවිතය?

2017-02-09-ent-532017 අපේ‍්‍රල්වලට අපි විවාහ වෙලා අවුරුදු තුනක් වෙනවා.

ඇත්තටම ගෙවී ගිය කාලය හරිම සුන්දරයි. ජීවිතයේ බොහෝ දේ ඉගෙන ගත්තා. විවාහ ජීවිතය කියන්නේ මොකක්ද කියන දේ එක්ක මටත් අත්දැකීම් ලැබුණා. විවිධ දේවලට මුහුණ දෙන්න වුණාම ඒවට කොහොමද මුහුණ දෙන්න කියන අත්දැකීම ලැබුවා. ඇත්තමට ජීවිතය එකඅතකට අලුත් අත්දැකීමක්.

 

ධනංජය මේ ගෙවීගිය කාලය ඔබට දැනෙන්නේ කොහොමද?

ඉතාම වේගයෙන් කාලය ගෙවී ගිය බවක් හැගෙන්නේ. අලූත් අත්දැකීමක් නිසා තමයි ඒ විදියට දැනෙන්න ඇත්තේ. වෙලාවකට අපටම පුදුමයි අවුරුදු තුනකට ආසන්න කාලයක් ගෙවිලා ගියා ද කියලා. ලොකු අත්දැකීමක් ලැබුවේ කිව්වොත් හරි.

 

ඒ මොන වගේ අත්දැකීම් ද?

විවාහයට පෙර අපි දීර්ඝ කාලීන ඇසුරක් වගේම දැන හඳුන ගැනීමක් තිබුණා. නමුත් එක ගෙදරකට ඇවිත් ජීවත් වන රටාව වෙනස්ම අත්දැකීමක්.

විවාහ වෙනකොට කියන්නේ දැන් දෙන්නා එක්කෙනෙක් කියලයි. ඒත් විවාහ වුණාට පස්සේ තමයි හරියටම තේරෙන්නේ දෙන්නා දෙන්නෙක් කියලා.

 

ඇයි එහෙම කියන්නේ?

සමහරවිට අපි දෙන්නා දෙන්නෙක් විදියට නොහිතුවා නම් ගමන වේගවත් වෙන එකක් නැහැ. එක තැන නතර වෙච්ච ගානට හැගේවී. අලූත් වන එකකුත් නැහැ. ඒ නිසා දෙදෙනාගේ අදහස් විවිධාකාර වූ නිසා හොඳම දේ වෙනුවෙන් ඉඩ ලැබුණා. ඒක හරි මරු. ඒ නිසා නිතරම ජීවිතයට විකල්පයක් ඇති වෙනවා.

 

ශෂිනි ගුවන් සේවිකාවක ලෙස කළ රැකියාවෙන් ඉවත් වුණේ ඇයි?

විවාහ වෙලත් වසරක් විතර රැකියාව කළා. නමුත් සෑම මාසයකම තුන් සැරයක් විතර ගෙදර ආවා. අන්තිමට බලපුවාහම ලංකාවෙ ඉඳලත් තියෙනවා. ඒත් දීර්ඝ කාලයක් ලෝකය පුරා යද්දී මට මගේ රටේ නවතින්න ඕන වුණා. විශේෂයෙන්ම බිරිඳක් ලෙස අපේ අම්මා කළ කැපකිරීම අපට අත්දැකීමක් වුණා. කවදහරි මටත් ඕනෑ වුණේ අම්මා වගේ හොඳ බිරිඳක් සහ ගෘහණියක් වෙන්නයි. ඒකට මම කැමතියි.

 

ශෂිනිට අද ආදරය දැනෙන්නේ කොහොමද? වෙනසක් තියෙනවද?

ඇත්තෙන්ම ඔව්. ඒ කාලයේ හිතුවාට වඩා ආදරය දකින විදිය වෙනස්. ඉස්සර එකට එක කරන බොළඳ කමකුත් තිබුණා. ඒ කාලෙදී හමුවුණේ මාසයකට සැරයක් සතියකට සැරයක් වගෙයි. ඉතින් ආදරය දැනීම වැඩියි වගේ කියලා හිතුනා. නමුත් එකම පුද්ගලයා වෙනුවෙන් බොහෝ වෙලාවක් බොහෝ කාලයක් එකම විදියට ආදරයෙන් වෙළී සිටී නම් ඒක තමයි ”ආදරය” කියන්නේ.

 

ධනංජය ඔබ ශෂිනි රැකියාවෙන් ඉවත්වීම ගැන හිතන්නේ කොහොමද? ඔබ තහංචි දැම්මද?

කිසිම තහංචියක් දැම්මේ නැහැ.

ජ්‍යෙෂ්ඨ ගුවන් සේවිකාවක වසර දහයකට වඩා අත්දැකීම් ලද මට වඩා ලෝකය ගැන අවබෝධය ලබපු විවෘත මනසක් තිබෙන චරිතයක්. ඒ නිසා කිසි විටෙකත් වෘත්තිය අපට බාධාවක් වුණේ නැහැ.

 

ධනංජය මොකක්ද මේ ආදරය කියන්නේ?

‘ආදරය’ මොකක්ද? කොහොමද? කියලා එක මොහොතකින් ප‍්‍රකාශ කරන්න බැරි දෙයක්. මැරෙනකම්ම අපට සමහරවිට ආදරය මොකක්ද කියලා හොයන්න වේවි. මොකද හැමදාම අලුත් දවසක් එන්නේ. ඇය ඒ අලුත් දවසට සාපේක්ෂව එක එක විදියට ආදරය කරනවා. වෙලාවකට එයා මට හොඳ යාළුවෙක්. එයා හරි අහිංසාවාදියි. ඒ වගේම හරි හොඳ, හරි හුරතල් කෙනෙක්. ඒ හුරතලයට මං ආසයි. ඇත්තම කිව්වොත් එයා හරි කියුට්

 

ශෂිනි ඇත්තද ඔබ ගායනයට එන්න හදනවා කියන්නේ? ආස නැද්ද රඟපාන්න?

රඟපාන්න නම් ආසා නැහැ. ඒක මට බැරි දෙයක්. ගායනයට නම් මම කැමතියි.

 

ධනංජය ඇත්තද ඒ කතාව? ශෂිනි ගායනයට ඒවිද?

ඇයට ඇත්තටම ගයන්න පුළුවනි. ඉංග‍්‍රීසි ගීත සහ හින්දි ගීත ගායනයට දක්ෂයි. ඇය ඒ අංශයෙන් යමක් කළොත් ඇත්තටම සාර්ථක වේවි.

 

ශෂිනි ගෙදරට වෙලා දැන් මොනවද කරන්නේ?

මම හිතන්නේ රස්සාව කළ කාලයට වඩා බිසී වෙලා.

ධනංජයට උදව් කරනවා. ඒ වගේම මම ෆැෂන් ඩිසයිනින් පාඨමාලාවක් හදාරනවා. ගෙදරදී සාමාන්‍ය ගෘහණියක්. පොත් කියවන්න හරි ආසයි. පොතක් ලියන්නත් ආසාවක් තියෙනවා. අලූත් ගෙදර හදන වැඩ බලන්නත් ඕනෑ. ඉතින් ඒ විදියට තමයි දවස් ගෙවෙන්නේ. සුන්දරයි ඉතිං.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-02-09-ent-51
2017-02-09-ent-52