(ඩයනා උදයංගනී)

දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු ධාරානිපාත වැස්සෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් දෙදිනක් තුළ 15 දෙනකු මියගොස් ඇති අතර එක් අයකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.  

මෙම මරණ අද (10) සහ ඊයේ (09) දිනවල වාර්තා වූ ඒවා වන අතර දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ 7 ක්, නායයාම්, බිත්ති හා පස්කඳු කඩාවැටීම් හේතුවෙන් සිදුවූ මරණ 8 ක් මෙලෙස වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පැවසීය.

මේ අතරින් මරණ 13 ක් ඊයේ (9) දිනයේදී සිදුව ඇති අතර මරණ දෙකක් අද (10) දිනයේදී සිදුව ඇතැයි ඔහු සඳහන් කළේය.

මෙම මරණ ද සමඟ ගත වූ දින 12 ක පමණ කාලයේදී මෙරටට බලපෑ ආපදා තත්වයෙන් සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 22ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ආපදා තත්වය හේතුවෙන් හය දෙනකු තුවාල ලබා ඇතැයි ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවේය.